Monday, November 23, 2009

දමිළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද මානව අයිතීන් ඇති බව අන්තරේට මතක් වීම




දමිළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද සිංහල හා අනෙකුත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙන් මූලික මානව අයිතීන් තිබෙන බව පරක්කූ වී හෝ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට තේරුම් ගොස් ඇත. පසුගිය දා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශ්‍රාස්ත්‍ර පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ ද්වාරකා නම් ශිෂ්‍යාව ත්‍රස්ත විමර්ශන අංශය විසින් පැහැරගැනීමට එරෙහිව අන්තරේ පාරට බැස ඇත. මූලික අයිතීන් නොසලකා පැහැරගනු ලැබූ ඇයව නිදහස් කරන ලෙසට ශිෂ්‍ය ව්‍යාපාරයක් ලෙසට පෙනී සිට ඇත.

මේ වෙනුවෙන් නිවේදනයක් නිකුත් කර ඇති අන්තරේ කැදවුම්කරු උදුල ප්‍රේමරත්න විසින් එල්ටීටීය විසින් බදවා ගන්නා ලද සෙබළ සෙබලියන් ගැන වඩා පුළුල් අර්ථයක සිට විග්‍රහ කොට ඇත. එහෙත් මෙකී විග්‍රහයන් ත්‍රිකුණාමල‍ෙය්දී සිදුවූ විශ්ව විද්‍යාල සිසු ඝාතනයන්, සෙන්චෝලේ සිසු ඝාතනයන් සිදුවූ විට බාහිරට නො ආවේ ඇයි දැයි යන්න ගැටළුවකි. මීට පෙර පේරාදෙණියේ හා මොරටුව විශ්වවිද්‍යාල වල සිදුවූ ශිෂ්‍ය අත්අඩංගුවට ගැනීම් වලදී අන්තරේ නිහඩබව දැඩි ප්‍රශ්ණාර්ථයකි.

තවමත් නොනවත්වා සිදුවන යාපනේ විශ්ව විද්‍යාලයේ අතුරුදන් වීම් සහ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ බියගැන්වීම් ගැන අන්තරේ නොදන්නේ දැයි අප නොදනිමු. දමිල මහාචාර්යව‍රයෙකුට අනුව යාපනේ විශ්වවිද්‍යාලයේ ‍කිසිම ශිෂ්‍ය ක්‍රියාකාරිත්වයක් නොමැත.

සිය කේවල් කිරීමේ ශක්තිය අහිමිවූ යාපනේ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයින්ගේ අයිතීන් වෙනුවෙන්ද පොදු ශිෂ්‍ය ව්‍යාපාරයක් ලෙස අන්තරේට මගහැර සිටිය නොහැක. එය දකුණේ සිසුන්ගේ පහසුකම් ගැටළු වෙනුවෙන් කෑගහසනවාට වඩා සංකීර්ණ වූවකි. ඔවුන්‍ට ඇත්තේ තම ජීවිතය පිළිබද ප්‍රශ්ණයකි.

කෙසේ වුවද පශ්චාත් යුධ කාලසිමාව තුලදී අන්තරේ මෙකී නැමියාව ඉතා සාධනීයය. මන්ද ඒක පාර්ශවික මර්ධනය දියත් වන්නේ මේ කාලසීමාවේදී හෙයිනි. අතීතය කෙසේ වුවද ජාතියක් නොසලකා අයිතිවාසිකම් රැකගැනීම සදහා ලාංකික ශිෂ්‍යයින් වෙනුවෙන් පෙනී සිටින ප්‍රධානතම සංවිධානයේ පෙළඹවීම සමස්ත සමාජයටම ආදර්ශයකි.

Tuesday, November 17, 2009

ගිලෙන්න යන මිනිහාට පිදුරු ගහක් දී ඉන් ලාභයක් උපයා ගැනීමට තරම් දියුනු වූ ශිෂ්ඨත්වය


ගිලෙන්න යන මිනිහාට පිදුරු ගහක් දී ඉන් ලාභයක් උපයා ගැනීමට තරම් ශිෂ්ඨ වූ ව්‍යාවසායකත්වයක් දැන් බිහිව තිබේ. විවෘත ආර්ථිකයේ ලිබරල්වාදී ශිෂ්ඨත්වය, වසර 2500ක් පැරණි ශිෂ්ඨාචාරයක් කූඨාප්‍රාප්තියත් සමගම ස්වයංපෝෂිත ලංකාවක් කරා යන මහින්ද ගමනේ අතරමග නූතන (අ)මානුෂිකවාදී ආර්ථික උපක්‍රමයන් රටපුරා දළුලමින් පවතී.


"රත්තරං වාසියක්" "ඔබේ රත්තරං වෙනුවෙන් අපෙන් ඉහළම මිලක්" "ඔබේ රත්තරං සින්නවෙන්න නොදී බේරාගන්න" යනාදී වූ මාතෘකා යටතේ විශේෂයෙන් බස්නාහිර පළාත අවට මෙකී ව්‍යාපාර සුලබව දැකිය හැකිය. සැබැවින්ම මෙහි සිදුවනුයේ අයෙක් විසින් උගස් කරනු ලැබූ රන්භාණ්ඩ, එකී උගස් තබන ලද රන්භාන්ඩ බේරාගෙන සුළු මුදලක් අයිතිකාරුවාට ගෙවා රන්භාණ්ඩ තමන් සතුකරගැනීමයි.


ගෑණුන්ගේ කකුල් දෙකක් පෙන්වීම සදාචාර විරොධී යැයි සම්මත, ශිෂ්ඨත්වයෙන් යුතු මේ සිරිලක, තවත් මිනිහෙකුගේ දුර්වලතාව, ආර්ථික අපහසුකම් ඉදිරිපිටදී අදාළ මනුස්සයාට පිළිසරනක් වීම පැත්තකින් තබා ඔහුට තවත් පාඩුවක් කිරීමට ඉදිරිපත්වීම අතිශය ප්‍රචලිතව ඇති ව්‍යාපාරයක් බව ක්ෂනිකව පත්ව ඇත. බණ භාවනා පංති, හතර පෝයටත්,වැලන්ටයින් දිනයටත් සිල්ගැනීමට තරම් ශීලාචාර සමාජයක මිනිස්සු ඇස් කන් පියා බලා සිටීම, අන්ධබවද, අනවබෝධයද, අවස්ථාවාදීකමද යන්න සිතාගත නොහැක.

Tuesday, November 10, 2009

ඉපැදුනු සැනින් බිළිදිය මැරූ කාන්තාව සුපුරුදු පරිදි රිමාන්ඩ් භාරයට. එතැන් පසු....???




ඉපැදුණු සැණින් බිළිදිය මරා රෝහලේ ලාච්චුවක් මත දමා තිබියදී හමුවීම නිසා අදාළ බිළිදියගේ මව යැයි සැකකෙරෙන කාන්තාව රිමාන්ඩ් භාරයට පත් කර ඇත. මෙවැනි සිදුවීම් පසුගිය කාලය පුරාවටම අතිශය සුලබ ලෙස අසන්නට ලැබුණි. එසේ වුවද අදාළ බිළිදුන්ගේ මව යැයි සැකකෙරෙන කාන්තාවන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්‍කර අදාළ සිදුවීමේ මතුපිට තත්ත්වය පිලිබද සමාජයේ ගොඩනැගී තිබෙන වෛරය පිරිමසා ගන්නවා මිස මෙකී ඛේදවාචකයන් පිටුපස ඇති දැවැන්ත සමාජ අර්බුදය ගැන කිසිවෙකුත් කිසිවක් කරන බවක් පෙනෙන්නට නැත.

ලංකාව වැනි සමාජයක ජීවත් වන කාන්තාවක් තුල මාතෘත්වය පිළිබදව ගොඩනැගී ඇති සියළු‍ ගෞරවණීය තත්ත්වයන් කෙලෙසා තමන්ගේම ලෙයින් උපන් කිරිකැටියන් ඉපදීමට පෙර හෝ ඉපදුණු සැනින් මරාදැමීමට පෙළඹෙන්නේ අදාළ කාන්තාව කුමන‍ හෝ තත්ත්වයක් තුළ පත්වන දැඩි අපහසුතාව නිසාම බව සිතීමට තරම් අපගේ සමාජයේ මිනිසුන් සංවේදී බවක් පෙනෙන්නට නැත. එකී මනුෂ්‍ය ඝාතනයන් සිදුකරන්නේ එක් පසෙකින් තමන් ඉදිරියට මුහුණදීමට අපහසුතරම් වන සමාජ අපවාදයන් හෝ ඛේදවාචකයන් නිසාම පමණක් නොව දරුවෙක් ලෙස අදාළ බිළිදා ඉදිරියට මුහුණදෙන අපහසුතාවන් නිසාද වන්නට පුළුවන.

නීත්‍යනුකූල පියෙකු නොමැති දරුවෙකු හෝ නීත්‍යනුකූල නොවන සැමියෙකු නොමැති කාන්තාවක් ගැබ්ගැනීම පිළිබද අපගේ සමාජයේ ඇති මතය, පිළිගැනීම අප සමාජයක් ලෙස කෙතෙක් මානුෂීයද, ශිෂ්ඨද යන්න හොදින් පෙන්වා දෙයි.

සහජ ආශයක් ලෙස ලිංගිකත්ව පිලිබදව කාන්තාවකට ඇති කැමැත්ත, පෙළඹවීම පිළිබදවත් පිළිගැනීමක් නොමැති සමාජයක මෙවැනි ඛේදවාචකයන් වැලැක්වීමට ගත යුතු පියවරයන් සදහා අප සමාජයක් ලෙස බොහෝ දුර යා යුතුය. අනෙක් අතට මුදල හඹායන අවසංවේදී සමාජයක අවංකබව, ආදරය, විශ්වාසය යනු හුදු වචනයකට පමණක් සීමා වු සමාජ ක්‍රමයක් තුල දුබලයා ලෙස කාන්තාවන්ට මෙආකාරයේ දුෂ්කරතාවන්ට පත්වීම ක්‍රමයේ ම ප්‍රතිඵලයකි.

එක් පසෙකින් උත්තරාරෝපිත සමාජක්‍රමයකට අනුගත වෙමින් තරගකාරී දිවිපෙවෙතක් ගත කරන අතර සංස්කෘතියක් ලෙස ඓතිහාසික මිත්‍යාමත තවමත් සමාජය තුල රැදී තිබෙන විටෙක බිහිවන විකෘතිතාවයන් තුලට මේ සිදුවීම් ඇතුලත් කිරීමේ වරදක් නැත.

Friday, November 6, 2009

අරූ පස්සේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් - විමල්, නන්දන දෙදෙනාම පවසති


දේශප්‍රේමය වෙනුවෙන් කැපවී සිටින සිය පක්ෂයේ මහලේකම් වන නන්දන ගුණතිලක සහ ඔහුගේ පුද්ගලික ලේකම් කමල් දේශප්‍රිය ඉන් ඉල්ලා අස්වී යෑම පිටුපස විජාතික දේශද්‍රෝහී කුමන්ත්‍රණයක් පවතින බව විමල් වීරවංශ මහතා පවසයි. ඇමරිකානු නව තානාපතිවරිය විසින් ආර්ථික ඝාතකයින් පිරිසක් ලවා තම පක්ෂය බිදවැට්ටවීමට සිදුකළ රහසිගත කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස මෙය සිදුවී ඇති බව ඔහු පවසයි. ඉදිරියට තවත් මෙආකාරයේ දෑ සිදුවිය හැකි බවද ඔහු පවසා සිටියේය.


මේ අතර ජනිපෙන් ඉල්ලා අස්වී යෑම ගැන නිලනොවන ලෙස අදහස් දක්වා ඇති නන්දන ගුණතිලක පවසා ඇත්තේ දේශප්‍රේමී අරමුණකින් යුතුව තමන් විසින් ජනිපෙ නිර්මාණය කිරීමට උදව් කළද මේ වන විට ජනිපෙ අධිරාජ්‍යගැති, දේශද්‍රෝහී වුවමනාවෙන් කටයුතු කරන නිසා තමන් ඉන් ඉවත්වීමට කටයුතු කළ බවයි. ඒ වෙනුවට ජනපති සමග එක්ව ඔහුගේ දෑත් ශක්තිමක් කිරීමට අදහස් කරන බව පවසයි. අධිරාජ්‍යගැති, දේශද්‍රෝහී මගක ගමන් කරන ජනිපෙට එරෙහිව තමන් නිකං නොසිටින බවද ඔහු පවසා ඇත.

Thursday, November 5, 2009

රණවිරුවන්ගෙන් ගොඩයන සැටි බලා හුන් මෛත්‍රිපාල ගොවියන්ට ද හමුදා‍වක් මෙන් වැඩකර තමන් ගොඩදමා දෙන මෙන් අයැද සිටී.


මෑතකාලීන දේශපාලනයෙන් හොදටම ගොඩ ගියේ රටේ හමුදාව යුද්ධය සිදුකිරීම හේතුවෙන් ඒ අවට සිටි හිවල් මැති ඇමතිගොල්ලය. එහෙත් එහි කට්ටක් වත් සූප්පුකිරීමට ලැබුණේ රජතුමාට හොදින් දී වැඩිම පන්දමක් පත්තුකළ අයටය.පක්ෂයේ ඉහළම තනතුරු දැරුවත් පෙරකළ චන්ද්‍රිකා අකුසලකර්මය පටිසන් දීම නිසා මෛත්‍රිපාල ලොක්කා හට සූප්පූකිරීමට ලැබුණේ සුවදත් යනකම්ම සූප්පුකළ මස්කටුය. ඒ නිසා තමන්ට වඩා කණිෂ්ඨ “දෙන්නන්” කටු සූප්පුකරන හැටි කෙළ හල හලා බලාසිටීමට තරම් මෛත්‍රී ලොක්කා අවාසනාවන්ත විය.කෙසේ හෝ හෝදා හෝදා මඩේ දැමූ මස්කුට්ටිය අවසන් වීම නිසා කටුලෙව කෑ බල්ලන්ට යන එන මං නැති බව දුටු මෛත්‍රී ලොක්කා තමන්ගේ ගම් පැත්තට ගොස් කවදත් දුකට සැපට සිටි තම ගමේ ඇත්තන් හට තමන්ට ඇති දොළ දුක පසුගිය ප්‍රකාශ කළේය.

මේ නිසා තමන්ට අමතකව ගියත් තමන්වෙත ඇලී සිටින සහෝදර ගොවියන්ගෙන් ඉල්ලුවේ, තමන් බලාසිටීයදී තමන්ට පෙන්න පෙන්න කටු කෑ බල්ලන්ට හොද පාඩමක් උගන්වන ලෙසයි. එනම් යුද්ධෙන් කඩාගෙන කෑමට නොහැකි වූ තමන්හට කෘෂිකර්‍මයෙන් වත් ගොඩ යෑමට අවස්ථාවක් සලසන ලෙසයි. ඒ වෙනුවෙන් ගොවියන් වන ඔබ රණවිරුවන්, යුධහමුදාවක් සේ වැඩකර තමන්ට පිහිට වන ලෙස මෛත්‍රී දෙපා නැමැද ඉල්ලා සිටියේය. තමන්ගේ හත්මුතු පරම්පරාවට අත්වෙන ඉරණම ගැන සළකා ‍කෙසේ හෝ තමන්ව ගොඩ යවන ලෙසද වැඩිදුරටත් ඔහු ඉල්ලා සිටියේය.

මේ හිගන්නාගේ අසරණ ඉල්ලීම ගැන සළකා බැලූ ප්‍රදේශවාසි ජනතාව රුපියල රුපියල එකතුකර දීමට උත්සාහ කළද, මෛත්‍රී ප්‍රකාශ කළේ එතරම් කරදර නොවන ලෙසත් ගොවිජනතාව හමුදාවක් මෙන් වැඩකිරීම ප්‍රමාණවත් බවත්ය. ඔහු අසල සිටි අයෙකුට ප්‍රකාශ කපටි හිනාවක් නගා ප‍්‍රකාශ කර තිබුණේ "මුංගේ වී වලින් කරදරයක් නැතිවම රුපියල ගන්න කියලා මල්ලිට කියන්නම්" ලෙසය.

Tuesday, November 3, 2009

නතාෂා පෙරේරා අනාගත “ආකාස කුසුම”ක්ද?


අකාස කුසුම් චිත්‍රපටය දිගහැරුණු ඛේදවාචකය හිතට බරක්ව තිබියදී එහි ගීතය ඇසීමෙන් නැවත නැවත වරක් එහි වන වේදනාත්මක බව විදිමින් සිටින මොහොතක තවත් සුරූපී නිළියක් ශ්‍රී ලාංකික රූපවාහිනියට පැමිණෙන බව පූර්ව ප්‍රචාරණයක් දියත් වෙමින් පවතී. ඒ කුඩා කළ හුරුබුහුටි කටහඩකින් ගීත ගැයූ නතාෂා පෙරේරාය. ලාංකික ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට වඩාත් ගැලපෙන සුරූපී බවකින් යුතු ඇය ලාංකික රූපවාහිනිය ඇතුළු ප්‍රසාංගික තලයන් තුළ හොද වෙළදපොළක් නිර්මාණය කිරීමට තරම් හැකියාවක් වෙතැයි මේ වනවිටත් ඇය පෙනීසිටින වෙළද දැන්වීම් ප්‍රමාණයෙන් උපකල්පනය කළ හැක. ‍

පසුගිය දිනෙක රූපවාහිනී සාකච්ඡාවකදී ඇය ප්‍රකාශ කළේ තමන් මෙන්ම විශේෂයෙන් තම මව කළෙක සිටම හොද කලා නිර්මාණයකට යොමුවීමට සොයබලමින් සිටි විට තමන්ට කුළුදුලේ රගපෑමට ස්වාධීන රූපවාහිනිය ආරාධනා කළ බවයි. ස්වාධීන රූපවාහිනිය උසස් ගණයේ නිර්මාණ කරන නිසා තමන් කිසිම පැකිලීමකින් තොරව ඊට සහභාගි වූ බව ඇය ප්‍රකාශ කළාය. සුපුරුදු නිළියන්ගේ බස්‍ හා යමින් ඇය එසේ ප්‍රකාශ කළද සැබෑම කාරණය නම් ඇය විසින් කුළුදුලේම සහභාගී වන්නේ අමු ඉන්දීය සෝප් ඔපෙරා ආකෘතිය යටතේ නිපදවූ මෙගා ටෙලිනාට්‍යයකටය.

තරුණියක් ලෙස වෙළදපොලේදී මිලක් ලබාගැනීම පිළිබද ඉරිසියාවක් අපට නැතත් සැබැවින්ම වෙළදපොලේ විකිණී හපයක් වීමට පෙර ලාංකික තරුණියක්, තරුණියක්, ඓතිහාසිකව දුක්විදීමට නියමවූ පංතියක සාමාජිකයෙක් ලෙස නතාෂා වෙත අපට කීමට ඇත්තේ අමනුස්සකම රජයන වෙළදපොල තුළ ප්‍රවේශම් වන ලෙසයි. “අරකිට ගහලා හිරේ ගියත් කමක් නෑ” කියන රටක, ස්ත්‍රීත්වය පෙරා හපයක් වන තෙක් සාරය උරාබී මගමගට ඇදදමන සමාජයක තරුණියක් ලෙස තවත් සන්ධ්‍ය රාණි කෙනෙක්, ශාලිකා කෙනෙක්, ප්‍රියා කෙනෙක් නොවීමට ඔබට නැණ නුවණ පහළවේවා. ඔබ සිටිනා තලයක එවැනි අවබෝධයක් ලබා ගැනීම උගහට වුවද, පවතින සමාජය කෙරේ යම් සමාජය පිළිබද යම් සංවේදී වීමක්ම ඒ සදහා ප්‍රමාණවත්ය. ඔබට ගුරුහරුකම් දෙන ඔබේ මැණීයන් ඔබට “ආකාස කුසුම්” චිත්‍රපටය බැලීමට නම් ගුරුහරුකම් නොදෙන බව විශ්වාසය.

Monday, October 26, 2009

ලාංකික තාරුණ්‍යයේ බාලගිරි දෝෂය "තාරුණ්‍යයට හෙටක්"


රාජ්‍ය නොවන සංවිධාන යනු රටේ පවතින රාජ්‍ය යන්ත්‍රණයට පරිබාහිරව පුද්ගලයින් සංවිධානගතවීමය. එහෙත් දැන් ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන රාජ්‍ය ව්‍යූහ‍ය ඇසුරෙන් තේරුම්ගැනීම අපහසුනිසාය. මන්ද දැන් ලාංකික රාජ්‍ය පවුලක් මත කේන්ද්‍රගතව ඇති නිසාය. ඒ නිසාවෙන් රාජ්‍ය නොදැනුවත්වම රාජ්‍ය නොවන සංවිධානයක් බවට පත්ව ඇත. එහි සංකේතීය නම "තාරුණ්‍යයට හෙටක්"ය


රජය මගින් සිදුකරන වැඩ සදහා අනුග්‍රහය සපයන මෙකී සෙලින්කෝ පන්නයේ රාජ්‍ය නොවන සංවිධානයේ වැඩ කිඩ පත්තර වල, රාජ්‍යවාහිනියන්ගේ මෙන්ම පාරපුරාවටද දක්නට ඇත.විටෙක පිහිණුම් තටාක හදන විට විටෙක මෝටර් රථ තරග පවත්වයි. විටෙක උතුරට ආධාර ගෙන යන විට තවත් විටෙක මහපොළ ප්‍රදර්ශනය පවත්වයි.


එදිනෙදා කොළඹ එන අයට මුණගැසෙන "තාරුණ්‍යයට හෙටක්" නාමපුවරුව දින දෙක තුනක් එකම ආකාරයෙන් දුටුවිට සිහියට එන්නේ කුඩා ළදරුවන් සිටින නිවෙස් වල ඉදිරි දොරටුවේ ගසන සාම්ප්‍රදායික නාමපුවරුවකි.

"බාලගිරි දෝෂය අද නොවේ හෙට"
"තාරුණ්‍යයට හෙටක්"


කුඩා ළදරුවන් ඇඩවීමට පැමිණෙතැයි පැරැන්නෝ විශ්වාස කළ බාලගිරි නම් යක්ෂයා නොමග යැවීම සදහා "අද නොවේ හෙට" යනුවෙන් පුවරුවක් සවිකර තබයි. එනම් ඊළග දිනයේද පැමිණෙන යක්ෂයා දකින්නේ "අද නොවේ හෙට" යන පුවරුවයි. ඒ අනුව හෙට යන සංකල්පය මනෝමූලික නිසා, අනාගතයේ පවතින නිසා බාලගිරි යක්ෂයා හැමදාම ආපසු හැරී යාමට සිදුවේ.


මේ ආකාරයේ බාලගිරි යක්ෂයා රැවැට්ටීමේ උපක්‍රමය දැන් මුළු රටම රැවැට්ටීමට යොදාගෙන ඇත. එනම් අනාගත ර‍ජ වීමේ ව්‍යාපෘතියට අතගසා සිටින රාජපුත්‍රයා ලංකාවේ තාරුණ්‍යයට අනාගතය ගැන පමණක් සිහිනයක් පෙන්වමින් වර්තමානය අහිමි කරමින් සිටී. එසේ වුවද නාමල්ට නම් හෙටක් පමණක් නොව අතමිට සරු "අද"ක් ද ඇති බව පෙනෙන්නට ඇත.


"තාරුණ්‍යයට හෙටක්" ව්‍යාපෘතිය තුලින් දැවැන්ත ප්‍රසිද්ධියක් දී දෘශ්‍ය, මතුපිට ඇති ගටළු වලට පිළිතුරු සෙවීමට උත්සාහ කලද, ව්‍යූහාත්මක වශයෙන් ගොඩනැගී ඇති ගැටළු වලට පිළිතුරු නොසපයන්නේ තාරුණ්‍යයට මෙන්ම ලාංකික ජනතාවටම මනෝමූලික සිහිනයක් හෙටට පමණක් ලබාදීමේ අදහසෙන් බවට සැක ඇත.


සිය සංවිධානයට යොදාගන්නා ලද නමෙන්ම අවිඥානිකව සිහිනයක් පමණක් ගොනගමින් භෞතිකව පවතින වර්තමානය මගහැරීම කොතෙක් උපක්‍රමශීලීද යන්න අවබෝධ කොට ගත හැක.


එළිපිට මිනිසුන් නොමග යවන මෙවැනි ක්‍රියාතුලින් අභ්‍යන්තරය හෙළිදරව් වනවා පමනක් නොව හැංගී හැංගී කරන යටිපූට්ටු වැඩ කොතෙක් උත්සාහ කළද බාහිරට සම්පූර්ණයෙන් සැගවිය නොහැක.

Monday, October 19, 2009

විමල් වීරවංශට ඉඩ නැතිවේ... මර්වින් සිල්වාගේ තැන ගැනීමේ වෑයමක්.....!


රාජපක්ෂ රෙජීමය තුල ජවිපෙ භූමිකාවට පණපෙවීමේ උත්සාහය ක්‍රම ක්‍රමයෙන් අසාර්ථක වන බව දැන ගෙන ඇති විමල් වීරවංශ විසින් දැන් මර්වින් සිල්වා විසින් රගදක්වමින් සිටින රාජපක්ෂ රෙදි හෙදීමේ රැකියාව සදහා යොමු වී ඇත.


තමන් ජනතා විමුක්ති පෙරමුනේ සිටියදී සිදුකලා වූ සියළු හැදෑරීම් රාජපක්ෂ රෙජීමයේ සුබසෙත සදහා පාවාදීමට තමන් එක සිතින්ම සූදානම් බවට හැගවෙන ප්‍රසිද්ධ ප්‍රකාශයක් විමල් වීරවංශ විසින් පසුගිය දා සිදුකළේය.


එනම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පවතින්නා වූ කතිකාවත නිර්මාණය කරන ලද්දේ අළුතෙන් පත්ව ආ ඇමරිකානු තානාපතිවරිය බවත්, ඇය ආර්ථික ඝාතකයෙක් (Economic Hitman) ලෙස ක්‍රියා කරන ඇමරිකානු ඒජන්තවරියක් බවත්ය. එසේ වුවද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඇමරිකාවට ඇති දැඩි අවශ්‍යතාව ගැන අදහසක් පළ නොකළ විමල් විරවංශ වක්‍රාකාරයෙන් ප්‍රකාශ කළේ එය ව්‍යූහාත්මක ලෙස බලපාන්නක් නොව හුදු මහින්ද ජනාධිපතිවරයාට එරෙහිව ඇමරිකාව විසින් දියත් කළ මෙහෙයුමක් බවයි.

සැබැවින්ම මෙය හාස්‍යජනක ප්‍රකාශයකි. 1994දී ජනතා විමුක්ති පෙරමුණ චන්ද්‍රිකා ජනාධිපතිවරියට සහයෝගය ලබාදුන්නේ විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීම සදහාය. 1999 දී ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීම සදහාය.2004 දී මහින්ද ජනාධිපතිවරයාට සහයෝගය ලබාදීමේ ප්‍රධානතම කොන්දේසියක් වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමය. එසේනම් විමල් මධ්‍යම කමිටු සාමාජිකයෙක් ලෙස ක්‍රියා කළ ඒ වකවානුවේ විධායක ජනාධිපතික්‍රමයට එරෙහිව සිය පක්ෂය ක්‍රියාකළේ කුමන ආර්ථික ඝාතකයෙකුගේ වුවමනාවකට දැයි යන්න දැන් ප්‍රකාශ කළ යුතුය.


සැබැවින්ම කාටත් වැටහෙන දෙය නම් විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමට බලකිරීම කුමන හෝ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් නොවන බවයි. ජවිපෙ විසින් ප්‍රතිපත්තියක් ලෙස විධායක ජනාධිපතිධූරයේ ඒකාධිපති ස්වරූපයට එරෙහිව ඊට විරුද්ධ වුණු අතරම තමන් කැපූ වලේ තමන්‍ම වැටුණු නිසා දශක ගණනාවකට තමන්ගේ පාලනයක් ගැන සිහිනය සැබෑකරගැනීමට නොහැකි බව දත් එජාපය හදිසියේම කොන්දේසි විරහිතව විධායක ජනාධිපති ක්‍රමයට එරෙහි විය.


මෙතෙක් කලක් තමන් ජවිපෙ සාමාජිකයෙක්ව සිටියදී ගිරිය පැලෙන තුරු විධායක ජනාධිපතික්‍රමයට එරෙහිව කැසුවද තමන් ඉන් ඉවත්ව මහින්දගේ ඔඩොක්කුවේ වාඩිවූ පසු විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිවීම දේශද්‍රෝහී කමක් බවට පත්වන්නේ බටහිර පිල්ලි ඒ පසු පස සිටීම නිසා නොව රාජපක්ෂගේ රෙදි හේදීමේ වගකීම සිදුකළ යුතු නිසාය. මේ නිසාම තමන් විසින් හදාරන ලද ආර්ථික ඝාතකයන් හා ඔවුන්ගේ ක්‍රියාකාරකම් හේතුඵල රහිතවම පාවා දී ඇත.


ක්‍රම ක්‍රමයෙන් කෙලෙවෙමින් පවතින තම සිහින රාජ්‍යයෙන් පිටතට විසිවීමට පෙර පිදුරු ගහේ එල්ලීමට මාන බලන විමල් වීරවංශ අනාගතයේදී මර්වින් සිල්වාටත් වඩා පිස්සු කෙළින පොරක් බවට පත්වූවද පුදුමයක් නැත. ගෙබ්බෙකු සේ පක්ෂෙන් පක්ෂෙට පනිමින් එන එන නායකයාගේ වන්දි භට්ටකම් කරමින් සිටින ජේ. ආර්.පී සූරියප්පෙරුම කෙනෙකු අනාගතයේ බිහිවීමට නියමිතවය ඇත්තේ මේ නරුමයාගේ වරදින්‍ නොව සමස්ත සමාජ පද්ධතියේම වරදින් බව ඔහු ද දන්නවා ඇත.

Monday, October 12, 2009

අහෝ ...........! සරත් ෆොන්සේකා, රාජපක්ෂ කෙනෙක් වූවානම්......!


යුද්ධය පිළිබදව වන මතවාදය කුමක් වුවද දිනන්නට බැරි යුද්ධයක් ජයගත් බව සත්‍යයකි. දේශපාලනයේ ආකෘතිකමය වෙනසක් නොමැතිව සිදුවූ මෙකී ජයග්‍රහණයට හේතු වූ තීරණාත්මක සාධකය යුධපිටියේ නායකත්වය බව බහුතරයකගේ පිළිගැනීමයි. ඉහළ පෙලේ හමුදා නායකයින්ගේ සෘජු හා උපක්‍රමික තීරණයන් හේතුකොට භූමියේ සෙබළුන්ගේ ධෛර්ය ඉහළ මට්ටමකට ගෙන ඒමට හේතුවුණු අතර ඒ සදහා ඉහළ යුධනායකත්වය සහ භූමියේ සෙබලා අතර වූ අන්තර්සම්බන්ධතාව ද ප්‍රබලව බලපෑවේය. මෙකී කාරණා පසුපස සිටි ප්‍රධානතම බලවේගය වූයේ හමුදාපති සරත් ‍ෆොන්සේකා බව තතුදත් සැමගේ අදහසයි. සැබැවින්ම දේශපාලන නායකත්වය විසින් සිදුකළ සුවිශේෂිතම කාර්යභාරය යුධනායකත්වයට බලපෑම් නොකර සිටීමයි.

ආන්දෝලනාත්ම ප්‍රකාශයන් සිදුකලද ජෙනරාල් සරත් ‍ෆොන්සේකා සතුව යුද්ධය ජයග්‍රහණය කිරීමේ පරම අරමුණක් හා ඒ වෙනුවෙන් වූ කැපවීමක් තිබූ බවද, ඒ නිසාම උතු‍රේ භූමිය සහ එල්ටීටීය පිළිබදව ඇති අත්දැකීම් හේතුකොට ගෙන වඩාත් ශූර උපක්‍රම භාවිතාකළ බව පසුව දැනගන්නට ලැබුණි. හමුදාව තුලට රිංගා සිටි අදක්ෂ, අකාර්යක්ෂම නායකත්වයන් කොළඹට එවා සැබෑ දක්ෂතාවක් පෙන්වූ යුධනායකයින් භූමියේ අණදෙන නිලධාරීන් බවට පත්කරන්නට යෑමේදී විවිධාකාරයේ විවේචනයන් ඔහුවෙත එල්ල වූ බව රහසක් නොවේ.

යුද්ධය ජයග්‍රහණය කරන තෙක් රජයේ මාධ්‍යයන්ගේ මෙන්ම ආරක්ෂක ලේකම්, ජනාධිපතිවරයාගේ සමීප සගයෙකු ‍වූ සරත් ෆොන්සේකා මහතා යුධ ජයග්‍රහණය නොනවත්වා සමරන මේ සමය වන විට ක්‍රම ක්‍රමයෙන් මාධ්‍යයෙන් මෙන්ම දේශපාලන නායකත්වය වෙතින්ද අමතකව කරමින් තිබෙන බවක් දක්නට ලැබුණි. විටෙක බ්ලොග් අවකාශය තුලින්ද අදහස් කෙරුණේ ජෝතිෂ්‍යමය කාරණයක් හේතු‍කොට මෙවැන්නක් සිදුවන බවයි. කෙසේ වුවද පසුගියදා යුද්ධය පිළිබද රසබර මතකය දකුනේ ඡන්දය වෙනුවෙන් මතක්කර දුන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් සරත් ෆොන්සේකා නම සිය ශබ්දකෝෂයෙන් ඉවත් කොට තිබුනි.

වත්මන් ආණ්ඩුව විසින් අලකරගත් සියළු දෑ වැසීමට පාවිච්චි ‍කරන එකම තෛලය වන යුධ ජයග්‍රහණය වෙනුවෙන් වඩාත්ම තීරණාත්මක ලෙස දායක වූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා හට පාඩුවේ ඉන්නටද ඉඩනොදී අපහාස කිරීමට පහත් මට්ටමකට රාජපක්ෂ පවුල් බලකාය ක්‍රියාකරමින් සිටී. ඒ ක්‍රීඩා හා පොදුවිනෝදාංශ අමාත්‍යංශයේ ලේකම්වරයා‍ ලෙස පත්කොට යැවීමෙනි. සජින් වාස් ‍වැනි ලෝක හොරු ආණ්ඩුව නිසා වැජඹෙන්නේද, මර්වින් සිල්වා ඓතිහාසික කැළණිය පුරවරයේ චණ්ඩියා වී කෝටි ගණන් කප්පම් ගන්නේද, කරුණා අම්මාන් ආණ්ඩුවේ ඇමතිවරයෙක් වී නිදහස් පක්ෂයේ උපසභාපතිවරයෙකු වන විට ‍රටේ ඓතිහාසික ‍ජයග්‍රහණයක් වෙනුවෙන් නායකත්වය දුන් සරත් ෆොන්සේකා ඉවතට විසිවන්නේ ඔහු රාජපක්ෂ කෙනෙක් නොවීම නිසාත්, ඔහු කොන්ද පණඇති නායකත්වයකින් හෙබි පුද්ගලයෙකු බව ඓතිහාසිකව ඔප්පු කොට ඇති නිසාත්ය.

රාජපක්ෂලා දක්ෂ බවට කිසිදු ඓතිහාසික සාක්ෂියක් නැත. මැදමූකලානේ සරම උස්සගෙන කෑගැසුවට ජාතික නායකයෙක් වන්නේ නැත. කොහේවත් නැති කනා පාරක් මහින්දට වැදුනේ ශ්‍රීලනිපයේ සිටි ජවිපෙ මතයට නැටවුණු රූකඩයක් වූ නිසාවෙනි. ලැබුණු චාන්ස් එකෙන් ප්‍රයෝජන ගැනීමට තරම් සූක්ෂම වූ රාජපක්ෂ පවුලේ කට්ට කෛරාඨික හිවල් මොලඇති සහෝදර උපදෙස් නිසා මුලින්ම කපා දැමුණේ තමන්ව රජකම් කරවූ ජවිපෙය. සිය පියා කළ පූර්ව පිනක් පළදුන් මහින්දට අණාගන්නට තිබූ යුද්ධය දිනාදීමට සරත් ෆොන්සේකාගේ ජීවිතය බේරුණු අතර තමන්ට කෙළවෙන්නට යන නිසා බියවී ඇස්දෙක පියාගෙන සරත්ට කැමැත්තක් කරන්නට දී මහින්ද දතකට පියාගෙන සිටියේය. යුද්ධය ඉවර වූ පසු සරත්ට පස්සට දෙකක් ඇණ වීසි කළේය. ජාත්‍යන්තරව තමන්ට ආ ‍චෝදනා වලින් බේරේන්නට දයාන් ජයතිලක යවා ඔහුටද පොරක් වන්නට ඉඩනොදී පළවා හැරියේය.

දැන් රාජපක්ෂ පාලනයට එරෙහි වූ බොහෝ කරුණු විසදී ඇත. අවශ්‍යනම් බෙල්ල දීමට කැමති දස දහස් ගණනක් මග බලා සිටිති. එසේ වුවද රාජපක්ෂ පවුලෙන් නොකැපී ඉන්නට නම් රාජපක්ෂ පවුලට මස්රාත්තල දීමට එකග වියයුතු අතර තමන් කටු වලින් පමණක් තෘප්තිමත් විය යුතුය. අවශ්‍ය නම් ඩලස් හෝ මර්වින් මෙන් පොරටොක් දීමට තහනමක් නැත. එහෙත් සල්ලි, ධනය, සම්පත් ගැවසෙන සියළු තැන් රාජපක්ෂ පරම්පරාවට අයිති විය යුතුය. මේ වන විට වැඩිම මුදලක් සංසරණය වන උතුර සංවර්ධනය , නැගෙනහිර සංවර්ධනය බැසිල් රාජපක්ෂ යටතේ සිදුවන විට වැඩිම සංවර්ධන කටයුතු සිදුවන දකු‍ණු පළාතේ සියළු කටයුතු සිදුවන්නේද බැසිල් යටතේමය. ඊට අමතරව රටේ සංවර්ධනයට අදාළ ප්‍රධාන කටයුතු සියල්ල බැසිල් යටතේම සිදුවිය යුතුය. ගුවන්සේවා හා වරාය චමල් යටතේය. ඉදිරියේදී ශක්තිමක් වීමට නියමිත පළාත් සභා නායකත්වයන් සියල්ල රාජපක්ෂ සනුහරේට යා යුතුමය. කොළඹට එන නාමල් ට අභි‍‍යෝගයක් වියහැකි, පාදඩ දේශපාලනයේ කිරුළ සොයායන දුමින්ද සිල්වා අනර්කලී දමා නිහඩකරවන්නේ මේ යටතේය.

තත්ත්වය මෙසේ වන විට ප්‍රතිරෝධය පිළිබදව දැනුමක් නැති රාජපක්ෂ සනුහරය කැපීමේ ක්‍රියාවලිය දිගටම කරගෙන යන විට සරත් ෆොන්සේක වැනි සිවිල් බලයක් සහිත පුද්ගලයෙක් දේශපාලනිකව ශක්තිමත් වීමේ ශක්‍යතාවයක් ද‍ පෙනෙන්නට ඇත. ඓතිහාසික ස්වයං විනාශකාරී ක්‍රියා කිරීමේ පළපුරුද්ද සහිත ජවිපෙ මේ සදහා ඉදිරියට ආවොත් පුදුමයක් නැත.

දේශපාලන සෙල්ලමේ ඉදිරිය බොහෝ තීරණාත්මකය. මාරාන්තික රිය අනතුරු, ගුවන් අනතුරු විටෙක සිදුවිය හැකි සේම මරාගෙන මැරෙන බෝම්බ කාරියන් නැවත මතුවුවද පුදුමයක් නැත.

Tuesday, October 6, 2009

ඖෂධ සදහා 500000 % ලාභයක් - වෛද්‍යවරු තම රෝගීන් මුදලට පාවාදෙයි !


මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණය සමග සාමාන්‍ය ජනතාව අනුකම්පා විරහිත ලෙස ‍සූරාකන තවත් මාතෘකාවක් සමාජයට පැමිණ ඇත. එනම් අතිශය අමානුෂික කර්මාන්තයක් වන ඖෂධ නිෂ්පාදනය සහ අලෙවිකරණ ක්ෂේත්‍රයයි.


මිනිසා සුවපත් කිරීමේ උතුම් කාර්යභාරය සිදුකරනු ලබන ඖෂධ, මුදලේ ගොදුරක් බවට පත්වීමෙන් පසු සමාගම් වල ඒකාධිකාරය යටතේ රෝගීන් සුරාකන වෙළද භාණ්ඩයක් බවට පත්ව ඇත.


ඉතා දැඩි ලාභ ප්‍රතිශතයක් පවත්වාගෙන යමින් තමන්ගේ වෙළද උපක්‍රම වලට රෝගීන්ව හසුකරගනිමින් ක්‍රියාත්මක වන ‍ඖෂධ මාෆියාව තමන්ට ‍එරෙහිවන සියළු බාධක කැමති කරවා ගැනීම හෝ විනාශ කිරීමට තරම් ප්‍රබල බවට උදාහරණ ලංකාවෙන් ම දැක ගත හැක. මහාචාර්ය සේනක බිබිලේ එආකාරයෙන් විනාශයට පත්වූ එක් අයෙකු වන අතර මතට තිත, පාතල මර්ධනය වැනි ‍දෑ සිදුකළද ලංකාවේ මිනිසුන් කෲර ලෙස සූරාකන ඖෂධ වෙළදුන්ට එරෙහිව රජයෙන් වත් වචනයක් පළ ‍නොවන්නේ ඖෂධ සමාගම් වල ප්‍රබලත්වය නිසාමය. මහාචාර්ය සේනක බිබිලේ සැමරුම් උත්සව තිබුණද ඖෂධ මාෆියාවට එරෙහිව වචනයක් පළ නොවන්නේ මෙවැනි වටපිටාවක් තුලය.


ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයන්හි ඖෂධ මිලදී ගැනීම්, බෙදාහැරීම් අංශ වලට වගකිවයුතු සියළුම පරිපාලන නිලධාරීන් සහ බහුතරයක් වෛද්‍යවරුන් වෙත සෘජු මුදල්මය කොමිස් සහ විවිධාකාර වරප්‍රසාද ලබාදෙමින් අල්ලස් හෝ දූෂණ නිත්‍යානුකූලව පවත්වාගෙන යති.


ලංකාවේ සිටින සෑම වෛද්‍යවරයෙකු ‍පිළිබදව වෙන වෙනම වාර්තා පවත්වාගෙන මෙකී ඖෂධ ජාවාරම්කරුවන් රජයේ හා පෞද්ගලික රෝහල් හෝ තනි තනි වශයෙන් රෝගීන්ට ප්‍රතිකාර කරන ස්ථාන වල ඖෂධ සාම්පල් සහිතව සිටිනවා ඔබට අපටද දැක්‍ගත හැක.


සෑම වෛද්‍යවරයෙකුම පුද්ගලිකව හමුවන්නට අමතක නොකරන මොවුන්ට නිදහස් අධ්‍යාපනයෙන් බිහිවූ ලාංකික වෛද්‍යවරු තම රෝගීන් පාවාදීමට නොපැකිලිව ඉදිරිපත් වෙති. මුදල් වලට නොවිකිනෙමින් තම වෘත්තීය ගෞරව ආරක්ෂා කරගනිමින්, සමස්ත ලංකාවේ අහිංසක දුප්පත් මිනිස්සුන් සූරාකෑමට ඉඩ නොදෙන ස්වල්පයක් වූ වෛද්‍යවරුන් ගැන සමාජය මීට වඩා කෘතවේදී විය යුතු අතර ඒ පිළිබදව කතිකාව මීට වඩා තීව්ර විය යුතුමය.


පහත දැක්වෙන්නේ 2000% සිට 569,958% දක්වා වූ ලාභ ප්‍රතිශතයක් පවත්වාගෙන යන ඖෂධ වලින් කොටසක්.....

· Celebrex 100 mg Consumer price (100 tablets): $130.27 Cost of general active ingredients: $0.60 Percen t markup: 1,712%

· Claritin 10 mg Consumer Price (100 tablets): $215.17 Cost of general active ingredients: $0.71 Percent markup: 30,306%

· Keflex 250 mg Consumer Price (100 tablets): $157.39 Cost of general active ingredients: $1.88 Percent markup: 8,372%

· Lipitor 20 mg Consumer Price (100 tablets): $272.37 Cost of general active ingredients: $5.80 Percent markup: 4,696%

· Norvasec 10 mg Consumer price (100 tablets): $188.29 Cost of general active ingredients: $0.14 Percent markup: 134,493%

· Paxil 20 mg Consumer price (100 tablets): $220.27 Cost of general active ingredients: $7.60 Percent markup: 2,898%

· Prevacid 30 mg Consumer price (100 tablets): $44.77 Cost of general active ingredients: $1.01 Percent markup: 34,136%

· Prilosec 20 mg Consumer price (100 tablets): $360.97 Cost of general active ingredients $0.52 Percent markup: 69,417%

· Prozac 20 mg Consumer price (100 tablets): $247.47 Cost of general active ingredients: $0.11 Percent markup: 224,973%

· Tenormin 50 mg Consumer price (100 tablets): $104.47 Cost of general active ingredients: $0.13 Percent markup: 80,362%

· Vasotec 10 mg Consumer price (100 tablets): $10237 Cost of general active ingredients: $0.20 Percent markup: 51,185%

· Xanax 1 mg Consumer price (100 tablets) : $136.79 Cost of general active ingredients: $0.024 Percent markup: 569,958%

· Zestril 20 mg Consumer price (100 tablets) $89.89 Cost of general active ingredients $3.20 Percent markup: 2,809%

· Zithromax 600 mg Consumer price (100 tablets): $1,482.19 Cost of general active ingredients: $18.78 Percent markup: 7,892%

· Zocor 40 mg Consumer price (100 tablets): $350.27 Cost of general active ingredients: $8.63 Percent markup: 4,059%

උපුටාගැනීම - http://blogs.healthfreedomalliance.org

Monday, September 28, 2009

පිස්සු කෙළින එවුන් වෛද්‍යවරුකරන්න ලක්ෂ 80කට උපාධියක්...!



මාලබේ අළුතින් ආරම්භ කළ වෛද්‍ය විද්‍යාලයට විරෝධයට සහයෝගය ලබා ගැනීම සදහා කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ නි‍යෝජිත පිරිසක් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ උසස් නිලධාරියෙකු හමුවට ගොස් ඇත. එහිදී අදාළ වෛද්‍ය සංගම් නිලධාරියා අපූරු කතාවක් ප්‍රකාශ කොට ඇත.

ඔහු එහිදී අදාළ වෛද්‍ය සිසු පිරිසට පවසා ඇත්තේ තමන් පුද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම සදහා විරුද්ධ ‍නැති බවත් ඊට හේතුව තමන්ගේ දූ දරුවන් වෛද්‍යවරුන් කිරීම සදහා අන්මගක් නොමැති බවත්ය. ඔහුට අනුව

"මේකනේ මල්ලි අපේ ළමයි අපි වගේ මහන්සි වෙලා, මැරිලා ඉගෙනගන්නේ නෑනේ.උන් පිස්සුනේ කෙළින්නේ.උන්ට අපි වගේ කටු කන්නත් බෑ......ඒක හින්දා සම්මත්ජාතියකට උන්ට මෙඩිකල් කොලේජ් යන්න බෑ. ඒක හින්දා සල්ලි දීලා හරි උන්ට ඩොක්ටර්ස්ලා කරන්න ඕන. ඒක හින්දා අපේ සංගමේ එවුන් ඔය වගේ යෝජනාවකට කැමති වෙන්නේ නැහැ."

ඒ අනුව ලක්ෂ 80කට වෛද්‍ය උපාධිය විකුණන්නේ පිස්සු කෙළින එවුන් වෛද්‍යවරුන් කරන්නටය.....

Monday, September 21, 2009

මේ යුගය යනු පැරණි අරගලකරුවන් පවා පවතින මජර ක්‍රමය සමඟ ස්ව කැමැත්තෙන් යහන්ගත වන යුගයකි. සමහර අතීතකාමී මහත්වරු සිය අතීත දිවිය රස විඳිමින්, ඒ පිළිබඳ භක්තිමත් දේශනා පවත්වමින් වර්තමානය තුල දියාරු, සීතල ජිවිත ගත කරයි. සමහරෙක් තම වත්මන් ආස්ථානය සදාරණිකරනය කර ගනු වස් ගෙනෙන අමන තර්කයන් මත සැනසෙයි. තවකෙකු ක්‍රම-විරෝධය වෙනුවට හිම වලසුන් වීමට යෝජනා කරයි.

මේ හැමකෙක්ම සිතන්නේ එක්කෝ වර්තමානයෙහි සියලු සමාජ ප්‍රතිවිරෝධයන් වියැකී යමින්, සුපුෂ්පිත අනාගතයක පෙර ලකුණු මතුව ඇති බවය. නැතිනම් මේ යුගය යනු පවතින ක්‍රමය ට වචනයකින් වත් එරෙහි විය යුතු නැති, නිහඬව සියල්ල දරාගත යුතු කාලයක් බවය.

එක් යුගයක අභිත ලෙස ක්‍රමයට එරෙහි වුනු මිනිසුන්, වඩා යහපත් හෙටක් වෙනුවෙන් අරගල කල මිනිසුන් මෙසේ තමන් විසින්ම සාදාගත් තමන්ටම ඇරුණු හිස් ලෝකවලට පසුබසිනු දැකීම එක් අතකට කටුක වේදනාවකි. සියල්ලටම වඩා ඒ හැමකෙක් ම ආපිට හැරී පවතින ක්‍රමය වෙත වන්දනාමාන කරනු දැකීම ඊටත් වඩා වේදනාවකි.

ක්‍රමය සමඟ නිදි වදින්නට යොජනා කරන මේ අතීත වීරවරයන්ට අපට කීමට ඇත්තේ එක දෙයකි. ඒ ක්‍රමය සමඟ යහන්ගත වීමෙන් කිසිදා යහපත් ලෝකයක් ගොඩනැඟිය නොහැකි බවය. ඔබ ද අතීතයේ දී අපට ඉගැන්වූ ඒ පාඩම අප කිසිදාක අමතක නොකරන බවය.

හිම වලසුන් වීමට යෝජනා කරන්නන්ට කීමට ඇත්තේ, සමහරවිට හිම වලසුන් අවදිවීමටත් මත්තෙන් නින්දේදී ම මිය යා හැකි බවය. එහෙයින් අප හිම වලසුන් නොවෙමු. හැකි පමණින් ක්‍රමයට එරෙහිව වචනයකින් හෝ අරගල කරනු මිස, ආපිට හැරී ක්‍රමය විසින් යෝජනා කරන හිස් සීතල ජීවිතය තොරාගැනීමට නොයමු.

Monday, September 7, 2009

ජෙප්පොනි.... දැන්වත් හැගීම්, දැනීම් ඇති මනුස්සයින් බිහිකරපියව්........


දේශප්‍රෙමී විමල් වීරවංශ සිය ගොඩ වැඩිකරගැනීම සදහා පසුගිය දා පැවැත්වූ දේශනාවකදී ප්‍රකාශ කළේ තමන් සමග දේශප්‍රේමී ගොඩේ සිටි අයද දැන් මැණ්ක්ෆාම් අවතැන් වූවන් ගැන කතාකරන බවයි.
ඔහුගේ එම ප්‍රකාශයට අනුව ඔහු විසින් නිර්වචනය කරන දේශප්‍රේමියා යන සංකල්පය තුල මැණ්ක්‍ෆාම් දෙමළ අවතැන් වූවන් ගැන කතාකිරීම දේශද්‍රෝහි වීමකි. ඔවුන් විසින් අපා දුක් විදිමින් ටික ටික මරණය කරා දක්වාගෙන යාමට එරෙහිව කතා කිරීම දේශද්‍රෝහී කමකි. බිහිවීමේ වගකීම ජනතා විමුක්ති පෙරමුණ විසින් දැරිය යුතු මේ නාසිවාදී තක්කඩියාට අනුව උතුරු නැගෙනහිර පළාත්වල ඉඩකඩම් පිටරටවලට විකුණන තෙක්, සිංහල වර්ගවාදීන්ට අනුව මේ මිනිසුන් මිහිපිට අපායක් වන් තැනක ගාල්කොට තැබීමට විරුද්ධ වන්නන් දේශද්‍රෝහීන්ය.
වික්ටර් අයිවන් විසින් පෙන්වා දුන් පරිදි අඩුකුල හීනමානයෙන් පෙළෙන මේ ගොන්නාම්බාට මිනිහෙක් පිළිබද ආදරය කරුණාව දැක්වීමට පුරුදු නොකිරීමේ වගකීම ජවිපෙ ම බාරගත යුතුය.
ජෙප්පොනි.... දැන්වත් හැගීම්, දැනීම් ඇති මනුස්සයින් බිහිකරපියව්........

Tuesday, September 1, 2009

ජනිපේ සමාජයවාදය සහ ‍ප්‍රායෝගික ගෝත්‍රිකවාදය


මේ දවස් වල පෝසටර් ව්‍යාපාර 2ක් සමාන්තරව ක්‍රියාත්මක කරන්න ජාතික නිදහස් පෙරමුන ක්‍රියාකරලා. එක්ක හියුගෝ චාවේස් ගේ පරිවර්තනය කරන ලද පොත එළිදැක්වීම, අනික එල්ටීටීයට විරුද්ධ වුනු බෞද්ධ හිමිවරු අනුස්මරණය. ඒක කරන්නේ මානෙල් මල් ව්‍යාපාරය මගින්.


චාවේස් ගැන එචිචරම අදහසක් නැති වුනත් ඒ පෝස්ටර් එකේ පසුබිමේ තිබුනේ චේගුවේරාගේ පිංතූරයක්. මං හිතන්නේ චාවේස්ගේ වැඩ කෙසේ වෙතත් ඔහු පුද්ගලයෙක් හැටියට චේගුවේරාගේ දර්ශනය විශ්වාසකරන අයෙක්.


අපි දන්න චේ කියන්නේ ආර්ජන්ටිනාවේ ඉපදිලා ලතින් ඇමරිකාවේ මිනිස්සුන්ගේ දුක වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරදුවට තියලා සටන් කරලා කියුබානු විප්ලවයේදි සැළකිය යුතු කාර්යභාරයක් ඉටුකරලා, තමන්ට සැපසේ හිදිය හැකිව තිබියදීත් සමස්ත ලෝකයේ පීඩිත ජනයාගේ විමුක්තිය වෙනුවෙන් බොලීවියානු විප්ලවය කරන්නට ගොස් ඝාතනයට ලක්වූ වීරෝධාර චරිතයක්. ඒත් ජනිපෙ විසින් තමන්ගේ අලෙවිකරණය සදහා යොදාගන්නා චේ සහ ඔවුන්ගේ ක්‍රියාකලාපය අතර පරස්පරය අපි එදිනෙදා බොහෝම නිර්ලැජ්ජිත විදිහට අත්දකිනවා විතරක් නොවෙයි, ඔවුන් විසින් දියත් කළ පෝසටර් ව්‍යාපාරය තුළදි වත් එය සගවා ගන්නට නොහැකි වී තිබෙනවා.


චේ ව මාර්කට් කරලා ගහපු අනිත් පොස්ටරේ ඉන්නේ හාමුදුරුවරු කීපදෙනෙක්. ඔවුන් අතර ඉහගත රතනපාල හිමි සහ දිඹුලාගල හාමුදුරුවන්ද සිටිනවා. සැබැවින්ම ජනිපේ සහ මානෙල් ව්‍යාපාරය ඔවුන්ට උපහාර දක්වන්නයි සැරසෙන්නේ. අනෙක් හාමුදුරුවරු ගැන අසානැතිමුත් දිඹුලාගල හිමියන්ගේ කෙරුවාවන් නම් ඒ පැත්තේ මිනිස්සු ගැන මදක් හෝ සංවේදී මිනිස්සු නම් අහලා ඇති. විශේෂයෙන් සිංහල ජාතිවාදී පුවත්පත් තුලින් මෙය වසාදමා වෙනමම චිත්‍රයක් දකුනෙහි ඇතිකලද දිඹුලාගල හිමි යනු සිංහල දෙමළ වෛරය ගොඩනැංවීම සදහා සිංහල ව්‍යාප්තවාදයක් දෙමළ ප්‍රදේශයන් තුල රාජ්‍ය අනුග්‍රහයෙන් යුතුව කරගෙන ගිය අයෙකි. දිඹුලාගල ප්‍රදේශයෙන් දෙමළ පිරිස් පන්නා දැමීම දිඹුලාගල හාමුදුරුවන්ගේ ක්‍රියාපිළිවෙලකි.


මේ අනුව ජනිපෙ විසින් සිය පෝස්ටර් හැඩගැන්වීමට යොදාගනු ලබන්නේ ඔවුන්ගේ දේශනා සහ ප්‍රායෝගිකත්වය අතර ඇති පරස්පරතාව මෙන්ම නොගැලපෙන පුද්ගල චරිත දෙකකි.
චේගුවේරා යනු එක් රටක ඉපිද සමස්ත ලෝක ජනවර්ගයේ යහපත උදෙසා දිවිහිමියෙන් ජීවිතය පුදකළ පුද්ගලයෙක් ‍වන විට දිඹුලාගල හිමි යනු සිය ගෝත්‍රයට ඉඩකඩම්, වස්තුව ලබාගැනීම සදහා අනෙක් ජාතියක් විනාශ කිරීමට උත්සාහ කළ ‍අයෙකි.
සැබැවින්ම චේ තුලින් දකින සමාජවාදය ජනිපෙ විසින් ලංකාවට අනුරූප කරගන්නේ දිඹුලාගල හිමි, ගුණදාස අමරසේකර වැන්නන්ගේ පටු ගෝත්‍රිකවාදී දර්ශනයන් තුලින් බවට මෙය ඉතා සමිපතම උදාහරණයකි.

Monday, August 31, 2009

තාරුණ්‍යයට හෙටක් ‍ලෝක වෙළද මධ්‍යස්ථානයට ගෙන යාම සහ එහි ප්‍රාග්ධනයේ පසුබිම


NGO වලට කෙළපු දේශප්‍රෙමී ආණ්ඩුව සමයේ නැගලා යන රාජ්‍ය නොවන සංවිධානයේ මූලස්ථානය ලෝක වෙළද මධ්‍යස්ථානයට රැගෙන යන බව පැවසේ. ලක්ෂ ගණනක මාසික කුලියක් ගෙවිය යුතු ලෝක වෙළද මධ්‍යස්ථානය වෙතට තාරුණ්‍යයට හෙටක් යාමේ පසුතලය විමසීම අවශ්‍යතාවයකි.


පසුගිය බ්ලොග්සටහනක දක්වා ඇති පරිදි ලෝකයේ ප්‍රබලතම ජාවාරම් අතරට ආයුධ, මත්ද්‍රව්‍ය මෙන්ම මානව හිමිකම්, සාමය වැනි කාරණාද ඇතුලත්ය. එමෙන්ම සරණාගත ගැටළුවද හොදින් විකුණාගෙන කෑ හැකි බව සුනාමි අත්දැකීම් ඇති අප දනිමු. ලාභ ලබන වෙළදාම් වල කේන්ද්‍රස්ථානයක් වන ලෝක වෙළද මධ්‍යස්ථානයට ලාභ නොලබන, රාජ්‍ය නොවන සංවිධානයක් වන තාරුණ්‍යයට හෙටක් ගෙන යන්නේ මෙවැනි පසුබිමක් තුලය.


යුධ පීඩාවෙන් දුක් විදි රටක් ලෙස මෙන්ම තුන්වැනි ලෝකයේ දුප්පත්කම පිරි රටක් ලෙස ලංකාවට ලද ආධාර බටහිර අධිරාජ්‍යවාදී කුලී ඒජන්තයින් ලෙස ක්‍රියාකල දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන තමන්ගේ සුඛෝපභෝගී ජීවන තත්ත්වය ගොඩ නගා ගැනීම සදහා ක්‍රියාකළ ආකාරය ලංකාවට පුරුදු අත්දැකීමකි. ප්‍රධාන NGO සියල්ල කොළඹ ආශ්‍රිතව අති සුඛෝපභොගී කාර්යාල පවත්වාගනිමින් 60%කටත් වැඩි තමන් වෙත ලැබෙන ආධාර මුදල් සිය ආයතනයේ නඩත්තු මුදල් ලෙස භාවිතා කරමින් ලංකාවේ යුද්ධය සහ දුප්පත් කමෙන් කඩාවඩා කෑම තවදුරටත් ක්‍රියාත්මකය. කුමාර් රූපසිංහ වැනි සාම වෙළෙන්දෙක් ලක්ෂ 17ක් පමණ මාසික වේතනයක් ලබාගන්නේ මෙවැනි තත්ත්වයක් තුලය.


රාජ්‍ය නොවන සංවිධාන වල මෙආකාරයේ විකුණාගෙන කෑම් සහ පාවාදීම් වලට එරෙහිව නැගී සිටි ජාතිකවාදී ව්‍යාපාර මහින්ද ජනාධිපතිවරයාට සහයෝගය දැක්වූ බව රහසක් නොවේ. මෙතෙක් රාජ්‍ය නොවන සංවිධාන වල සුඛෝපභෝගීත්වය කොළඹ 07 රහසින් පවත්වාගෙන යන විට ලෝක වෙළද මධ්‍යස්ථානයට සිය කාර්යාලය පිහිටවූ ප්‍රථම ලාංකික රාජ්‍ය නොවන සංවිධානය ලෙස තාරුණ්‍යයට හෙටක් වාර්තාගත වන්නේ පෙරකී ආකාරයේ ජාතික ව්‍යාපාරයන්ගේ සහයෝගය ලැබූ රජයක් බලයේ සිටින කාලයේදී වීම හාස්‍යයට කාරනයකි. එකී රාජ්‍ය නොවන සංවිධානය ‍රටේ විධායක ජනාධිපතිවරයාගේ නිල අනුග්‍රහයෙන් ඔහුගේ පුත්‍රයා විසින් පවත්වාගෙන යෑම සැබැවින්ම සිවිල් සමාජයේ අවධානය අනිවාර්යෙන් යොමුවිය යුත්තකි.



NGO ප්‍රාග්ධනය


පෙර සදහන් කර ඇති අධිරාජ්‍ය වාදී කුලී ඒජන්තයින් බවට පත්වූ NGO සදහා ප්‍රාග්ධනය සැපයෙන්නේ බටහිර අධිරාජ්‍යවාදී, වෙළද ව්‍යාප්තවාදී, ආගමික වැනි ආධාරක සංවිධාන වලිනි. USAID, AUSAID, GTZ, DFD, CIDA, World Vision මෙන්ම තානාපති කාර්යාල වැනි ආධාරක ආයතන රාශියක් මේ අතරට අයත් වන අතර ඔවුන් විසින් ආධාර දීම සදහා ව්‍යාපෘති වාර්තා සකස් කොට පිළිපැදිය යුතු නිශ්චිත විධික්‍රමයයන් සකස් කොට තිබේ. පිටතින් දැඩි වෘත්තීය සහගත බවක් දැක්වුවද ඊට යටින් ඇත්තේ තම න්‍යාය පත්‍රයන් රටතුළ ක්‍රියාත්මක කරගැනීමේ අවශ්‍යතාවක් බව විමසිල්ලෙන් සිටින කිසිවෙකුට වුවද අවබෝධ වේ. ලංකාව තුළ සුබසාධන සංවිධාන වල ව්‍යාප්තවීමක් සිදුවූයේ මෙවැනි ප්‍රාග්ධනයක් ගලා ඒම නිසා මිස ලංකා‍වේ මිනිස්සු පිනට වැඩ කිරීමට උනන්දුවක් දක්වන නිසා නොවේ.


බටහිර ව්‍යාප්තවාදී රටවල් වලින් ගලාඑන ආධාර මුදල් වල මූඛ්‍ය වුවමනාව නම් ලිබරල් ආර්ථිකය තමන්ට හිතැති ආකාරයට ව්‍යාප්ත කිරීමත්, සිය සූරාකෑමේ ක්‍රියාවලීන් කාර්යක්ෂමව සිදුකිරීම සදහා ජනතාව විනාශ නොකර රදවා ගැනීමේ සිට සමස්ත රටේ දේශපාලන ක්‍රියාවලියට බලපෑම් කළ හැකි, තමන්ට හිතවත් සංවිධාන ජාලයක් පවත්වා ගැනීම දක්වා දැඩි පරාසයක් තුළ අර්ථකථනය කළ හැක. මේ නිසාම ජාතිකවාදී ව්‍යාපාර මෙන්ම වාමාංශික කොටස්ද මේ කෙරෙහි දැඩි විරෝධතාවක් දක්වන්නට විය.(ජාතික ගැටළුව කේන්ද්‍රගත කොට ෆෙඩරල් ක්‍රමය වැනි දෙමළ ජනයාගේ ගැටළුවට විසදුම කරුණු වලදී බටහිර සහ වාමාංශික කොටස් සමාන්තර මතයක් දැරූ නිසා පරණ වම NGO කරණය හරහා ප්‍රාග්ධනීකරණය වීමක් සිදුවී අවසානයේ ලිබරල්වාදී විය.)


මෙවැනි තත්ත්වයක් තුළ සන්ධාන ආණ්ඩුවේ යුධ ක්‍රියාමාර්ගය තුලදී ක්‍රියාත්මක වූ ජනප්‍රියවාදී ක්‍රියාමාර්ගයක් ලෙස ලංකාවේ ක්‍රියාත්මක වූ බො‍හෝ NGO සදහා තහංචි වැටිණි. ඒ සදහා එතෙක් නිර්මාණය කොට තිබූ කළු ප්‍රතිරූපයෙන් මහජන සහයෝගය ලැබුණු අතර යුද්ධය හා ජනවාර්ගික ගැටළුව පිළිබද මතුව තිබූ මැදිහත් අදහස්ද ඊට සමාන්තරව යටපත් විය.


ඒ මෙතෙක් ලංකාවේ සාමාන්‍ය NGO වල කතාන්දරයයි. මේ අතරතුර "තාරුණ්‍යයට හෙටක්" නම් සංවිධානයක් බිහිවන්නේ කීර්තිමත් ජනාධිපතිවරයාගේ සුකුමාල පුත් නාමල් රාජපක්ෂගේ නායකත්වයෙනි. නාමල් උඩින් හිටියද සැබැවින්ම වැඩේ කරගෙන යන්නේ කුප්‍රකට සොරෙකු වන සජින් වාස් බව කුඩා නිරීක්ෂණයකින් වුවද දැකගත හැක.



"තාරුණ්‍යයට හෙටක්" ප්‍රාග්ධනය කොහෙන්ද ?


සියළු දෑ හට මිලක් ඇති සමාජයක තාරුණ්‍යයට හෙටක් ඉතා කෙටි කාලයකින්ම සාමාජීය දේශපාලන වටිනාකම කෙසේ වෙතත් මිලෙන් අධික වැඩ රාශියක් සිදුකිරීමට සමත්විය. මූලික වැඩසටහන් සදහා පහසුකම් සපයා ගැනීමට රටේ ජනාධිපතිවරයාගේ උදව් උපකාරය ලැබුණා යැයි බලාපොරොත්තු තැබිය හැකි වුවද, සමස්ත ක්‍රියාවලීන් සදහා ජනාධිපතිවරයාගේ බලතල, සිවිල් වටිනාකම, නාමල්ගේ ජනප්‍රියත්වයේ උදව් උපකාර වලින් පමණක් උපයාගත නොහැකි ප්‍රාග්ධනයක් සංසරණය වන ආකාරයක් දක්නට ලැබුණි. රටේ සාමාන්‍ය රාජ්‍ය නොවන සංවිධාන වලට ප්‍රාග්ධනය පොම්ප කරන මාර්ගයන් කුප්‍රකට වුවද ඒවා පැහැදිලිය. බටහිර කුමන්ත්‍රණ න්‍යාය පත්‍ර වලට අනුකූලව සැකසුනද ඔවුන් තම ඊනියා විවෘත භාවය සදහා විගණනයන්ද සිදුකරති. එහෙත් අනාගත ජනපති වීමේ දිගුකාලීන ව්‍යාපෘතියේ නිරත නාමල් පසුපස ඇති ප්‍රාග්ධනය පැහැදිලි නැත.


පසුගිය ජනාධිපතිවරණය සමයේ මතුවූ "හෙල්ප් ඉන් හම්බන්තොට" ගිණුම සම්බන්ධයෙන් වන චෝදනාවෙන් ජනාධිපතිවරයා නිදහස් වූයෙ නැත. සුනාමියට ආ ඒ මුදල් වලට සිදුවූ කිසිම සලකුණක් නැත. අඩුම තරමින් හම්බන්තොට සංවර්ධනයට වත් එම අරමුදලෙන් කොටසක් යෙදවූ බවක් දක්නට ලැබුණේ නැත.

ඉහත දක්වා ඇති පරිදි, ‍ සංඛ්‍යා දත්ත අනුව ලෝකයේ දැවැත්තම ජාවාරම ආයුධ ජාවාරමයි. රට රටවල් වලින් ‍කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ඒ සදහා වැයකරයි. මාගේ මතකයට අනුව යුද්ධය වෙනුවෙන් ශ්‍රී ලංකාව පසුගිය වසරේ පමණක් රුපියල් බිලියන 150කට වැඩි මුදලක් වැය කර ඇත. එල්ටීටීය පරාජය කිරීම සදහා අතිනවීන ආයුධ වලින් සන්නද්ධ කිරීමට ඉහත මුදල් ප්‍රමාණයෙන් 70%ක් වත් මුදල් යොදවන්නට ඇත. ර‍ටක් එආකාරයෙන් ආයුධ මිලදී ගන්නා විට අනිවාර්යෙන්ම ලබාදෙන කොමිස් මුදල් ගැන කිසිදු සටහනක් නොමැත. සමස්ත මිලදී ගැනීම් වලින් 20% සිට 50% ක් පමණ දක්වා වන අදාළ කොමිස් මුදල් සංඛ්‍යාත්මකව ගණනය කළ විට කොතරම්ද යන්න වටහා ගත හැක.


දැනට මැණික්ෆාම් අනාත ගම්මාන වල ක්‍රියාත්මක වන විදේශීය රාජ්‍ය නොවන සංවිධාන සහ දේශීය රාජ්‍ය නොවන සංවිධාන කිහිපය හැරුණුවිට මාධ්‍යයේ ප්‍රසිද්ධිය ලබමින් ක්‍රියාත්මක වන්නේ "තාරුණ්‍යයට හෙටක්" බව රටම දනී. සරණාගත පිරිසට රජයෙන් ලැබෙන අල්ප වූ සැලකිලි නිසා නාමල්ට වන්දි ගෙවීමට සිදුවූ බව ප්‍රසිද්ධ රහසකි. ලක්ෂ 03කටත් අධික සරණාගත පිරිස වෙනුවෙන් ලැබෙන අතිවිශාල ආධාර ප්‍රමාණය කිනම් දිශාවකට යොමුවී ඇත්ද යන්න සැකසහිතය.


පැහැදිලි නොවන ප්‍රාග්ධනයක් මගින් මෙහෙයවෙන සංවිධානයන්ට ජාවාරම් වලින් සහයෝගය ලැබෙන්නේ නම් ඒ අතර ප්‍රධාන වන්නේ ආයුධ සහ මත්ද්‍රව්‍ය වලිනි. ලංකාවේ ආයුධ පරිභෝජනය දැන් අඩුවී ඇත. එහෙත් මත්ද්‍රව්‍ය පරිභෝජන එසේ වී නොමැත. මතට තිත ලෙස කිව්වද ඉන් සිදුව ඇති වක්‍රාකාර ‍උපකාරයන් සංවේදී නිරීක්ෂණයන්ට පැහැදිලිව හසුකර ගත හැක.


මිලියන බිලියන ගණන් වලින් මුදල් සංසරණය වන වටපිටාවක ලෝක වෙළද මධ්‍යස්ථානය වෙනුවෙන් ගෙවීමට ඇති ලක්ෂ කිහිපයක මාසික කුලිය සැළකිය යුතු ගණනක් වන්නේ නැත. පාන් ගෙඩියක් ගන්නටත්, තේ එකක් බොන්නටත් දෙපාරක් සිතන්නට සිදුව ඇති සාමාන්‍ය ජනතාවට නම් රු 100 ත් සැළකිය යුතු මුදලකි.

බලය කේන්ද්‍රගත වන විට මුදල්ද කේන්ද්‍රගත වීම සාමාන්‍යය. එහෙත් හැමදාම හැමෝටම අවුරුදු නැත. නිව්ටන්ට අනුව සෑම බලයකට සමාන වූත් ප්‍රතිවිරුද්ධ වූත් බලයක් ඇත. ඒ භෞතික විද්‍යාවේදීය. සමාජ විද්‍යාව තුල එය කෙසේ වේ දැයි අප නිරීක්ෂනය කරමු. සමාජයේ ප්‍රතිවිරුද්ධ බලය සදහා මේ ක්ෂුද්‍ර වූ තල්ලුවක් පමණි.


Friday, August 28, 2009

කැළණියේ ‍නපුංසකයා

කැළණියේ අධිපති ආචාර්ය මර්වින් සිල්වා තුමාට එදිරිව ගිය කැළණිය ප්‍රාදේශීය සභා සභාපතිතුමා තමන් විසින් ආචාර්ය තුමාට එල්ල කළ චෝදනා අසත්‍ය බව ඊයේ දිවුරාප්‍රකාශ කළේය. ලංකාවේ තක්කඩි දේශපාලඥයින් කෙලින පට්ට කෙබර අතරින් තමන් බොරුවක් ප්‍රකාශ කළ බව පිළිගත් එකම කෙනා මොහු බව මගේ වැටහීමයි. (තඩි කෙබරයක් ඇද බෑ සංස්කෘතික ඇමති පියසිරි විජේනායක තම මිල අධික මොන්ටේරෝව ගැන මාධ්‍යවේදීන් ප්‍රශ්ණ අසන විට මග හැරගියේය.)
රහත් වීමට ටිකක් මෙහෙන් සිටින මර්වින් තමන්ගේ නිවසට මැරප්‍රහාර එල්ල නොකළ බව කැළණිය සභාපති ප්‍රසන්න සිල්වා මහතා මාධ්‍ය මගින් නිවේදනය කර සිටියේය. දිවුරා කල එම ප්‍රකාශය සත්‍යයද අසත්‍යද යන්න රටටම අමුතුවෙන් කිව යුතු නැත. ඉදිරියේදී මර්වින්ද ප්‍රසන්න යනු හොරෙක් බවට කළ ප්‍රකාශයන් අසත්‍ය බවත් ඔහු ඉතා දක්ෂ ප්‍රාදේශීය නායකයෙකු බවත් ප්‍රකාශ කළහොත් එහි පුදුමයක්ද නැත.
රටේ පිස්සු බල්ලන් ඇතිකිරීමට එකම අයිතිය ලත් සත්ගුණවත් මහරාජාණන් තමන්ගේ යටිපූට්ටු ගේම් දෙන පිස්සු බල්ලා සිය සැදැහැවත් බෞද්ධ ඡන්දකාරයන්ට සේවය කිරීම පිණිස බෞද්ධය‍න්ගේ මුදුන්මල්කඩක් වූ කැළණිය ප්‍රදේශයට එවා ඇත. ඌ විසින් සිදුකරන තක්කඩිකම් ගැන කෙතෙක් කරුණු එළිකළද කාටත්හොද මහරාජාණන්ගේ කනට ඒවා ඇසෙන්නේ, පෙනෙන්නේ නැත. තම මැදමූකලාන හීනමාන පරම්පරාවේ සිට කොළඹ 07 රාජපක්ෂ කෙනෙකු බිහිකිරීමට ඉඩම් හොරකම් කරන්නේත්, මහරජාගේ පාතාලය මෙහෙවන්නේත් මේ පිස්සු බල්ලා බැවින් දත් 32ම එලියට දා හිනාවුනත් මහරජාට පිස්සු බල්ලා ගැන හැගීමක් නැත.
කැළණියට ආ මර්වින් සියළු දෑ තමන් සතු කරගන්න උත්සාහ කරන විට නොනැමුණු කිරිබත්ගොඩ එක්සත් වෙළද සංගමයට ඔවුන් සතුව ඇති ශක්තිමත් කොන්ද වෙනුවෙන් අ‍පගේ ප්‍රණාමය හිමිවිය යුතුය.(ඔවුනගේ මතවාදයට අප එකග නොවුනද කොන්දට ප්‍රණාමය) මන්ද පිස්සු බල්ලන් සමග සෙල්ලම ලේසි නැති නිසාය, ඒ ඌට පිස්සු නිසාය. අන්තිමට කිරිබත්ගොඩ එක්සත් සුහද සිංහල වෙලද සංගමයක් බිහිව ප්‍රදේශය විනාශ කරන්නේ මේ නිසාය.
බලමු , බලමු , ඔය ඉන්නවැයි කියන තිස්තුන් කෝටියක් දෙවියන්ගෙන් එකෙක්වත් ඇති‍නේ......

Thursday, August 27, 2009

කාන්තාවකට එළිපිට දඩුවම් - ඇයි ඒ...?


විදෙස් රූපවාහිනී සේවා වලින් ලංකාවට ගැලපෙන ප්‍රවෘත්ති තෝරාදෙන ස්වර්ණවාහිනිය ඊයේ තෝරාගත් ප්‍රවෘත්තියක් වුනේ මලයාසියාවේ කාන්තාවක් මත්පැන් පානය කළ නිසා ප්‍රසිද්ධියේ කසපහර දීමට තීරණය කර ඇතිබවයි.

මතට තිත තියන්නත්, වැඩිහිටියන්ට පමණක් චිත්‍රපටි වැඩිහිටියන්ට තහනම් කිරීමටත් තීරණය කර ඇති ලංකාවට මේක රසවත් ප්‍රවෘත්තියක් බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.

තත්ත්වය කෙසේ වෙතත් මට ඇතිවුණ ප්‍රශ්නේ මේකයි. ලෝකේ වැඩිපුරම මත්ද්‍රව්‍ය, මත්පැන් පාවිච්චිකරන‍්නේ පිරිමියි. මැලේසියාවෙත් තත්ත්වෙ ඊට වඩා වෙනස් කියලා හිතන්න බෑ. එච්චර බහුතරයක් පිරිමි මත්පැන් පාවිච්චි කරදදි ප්‍රසිද්ධියේ කසපහර දීමට කාන්තාවක්ම හොයාගත්තේ ඇයිද යන්නයි.

මේ වේදිකා නාට්‍ය වසන්තයයි....කොටුවෙන් එළියට එමු!


මේ වේදිකා නාට්‍ය වසන්තයයි. ලංකා‍වේ තවමත් කොන්ද කෙළින් තියාගෙන නිර්මාණාත්මක කලාවක් ලෙස නාට්‍යකලාව පවත්වාගෙන යනු ලබන නාට්‍යකරුවන් ගේ නවමු ආගමනයන් සිදුවන්නේ මේ කාලය තුලයි. කාරණා බොහෝමයක් සෘණ මට්ටමෙන් ගමන් කරන විට නාට්‍ය කලාවේ ඇතිවී ඇති ප්‍රගමනය, ගවේෂණාත්මක බව, රසවින්දනයේ පළල් බව ගැන සැබැවින්ම අතිශය සතුටුවිය හැක්කේ ඉන් ඇතිවන බලාපොරොත්තු සහගත බව නිසාය.

පසුගිය දිනවල පැවති නාට්‍ය සංදර්ශන වලදී සැළකිය යුතු පිරිස් සහභාගීත්වයක් තිබුණද එහි වන සුවිශේෂී ලක්ෂණය වන්නේ එකම පිරිසක් නාට්‍ය නැරඹීමට පැමිණීමයි. මූල්‍යමය වශයෙන් එහි ගැටළුවක් නොවුනද නාට්‍යයක් නිෂ්පාදනයේදී වන සාමාජීය කාර්යභාරය ඉන් ඉටුවනවාද යන්න ගැටළුවකි. එහි අවසන් ප්‍රතිඵලය නාට්‍ය රසිකයින් කොළඹ අවට පමණක් බිහිවීමයි.

පවතින අධිතරගකාරී ආර්ථිකය තුළ නාට්‍ය, ඉහළ රසවින්දනාත්මක චිත්‍රපට, සංගීතය වෙනුවට ක්ෂනික නිෂ්පාදිත ටෙලිනාට්‍ය, සංගීතපට, මෙන්ම චිත්‍රපට වල වලට වැඩි ඉල්ලුමක් පැවතීම එක් ලක්ෂනයක්. ඒ අතරතුර කොළඹ කේන්ද්‍රීයව පවතින මෙකී කලාත්මක නිෂ්පාදන රසවින්දනය සදහා කොටුවෙන් එළියට පැමිණ කාලය, මුදල්, නවාතැන්පලවල් සොයාගැනීමට අපට බලකර ඇත.

අවශ්‍ය වන්නේ ඒකාකාරී දිවියෙන් ඉවත්වීමට ඇති දැඩි අවශ්‍යතාවත්, ඒ කොටුවෙන් එලියට ඒමට අවශ්‍යවීමත්මය. අපගේ එළියට ඒම කලානිෂ්පාදනයට කරන දායකත්වයක් පමණක් නොව සමස්ත සමාජයේ ප්‍රගමනයට දක්වන දායකත්වයක් වනු ඇත.

Tuesday, August 25, 2009

ඩෙස්මන් මල්ලිකාරච්චි මහාචාර්යධූ‍රයෙන් ඉවතට, ආචාර්ය මර්වින්ට මහාචාර්ය ධූරයක් !




පේරාදෙණිය සරසවියේ දර්ශනය අධ්‍යයන අංශයේ මහාචාර්ය ඩෙස්මන් මල්ලිකාරච්චි මහතාගේ මහාචාර්ය භාවය අහෝසිකරන්න තීරණය කරලා කියලා මාධ්‍යවල දක්නට ලැබුණා. ඔහු මාක්ස්වාදය, දර්ශනය වැනි විෂයපථය පුළුල් කරන්න වගේම රටේ දේශපාලනික තත්ත්වයන් පිළිබදව සැබෑ සංවේදී බවක් ඇති පුද්ගලයෙක් බව රටම දන්න දෙයක්. පසුගිය කාලය පුරාවටම ඇකඩමියාව තුළ දර්ශනය විෂය හෑල්ලුවට ලක්වෙමින් පැවති සමයක එකී විෂය ගැන විශ්වවිද්‍යාල තුල නමක් රැන්දවූ අධ්‍යනික විද්වතුන් කිහිපදෙනාගෙන් ඔහුත් එක් අයෙක්.

පේරාදෙණියේ මෙආකාරයෙන් වන විට කොළඹ සරසවියෙන් ජනාධිපතිවරයාට මහාචාර්ය පට්ටමක් සහ ආරක්ෂක ලේකම්ට ආචාර්ය පට්ටමක් පිරිනමා තිබුනා. මේ පිළිබදව එක්තරා පුවත්පතක කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්යවරු පිරිසක් දක්වා තිබූ ප්‍රතිචාරය වූයේ අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා හෑල්ලුවට මෙන්ම උපහාසයට ලක්වුවාක් මෙන් මෙමගින් ජනාධිපතිවරයාද උපහාසයට ලක්වීම අනිවාර්ය බවත්, අධ්‍යනික උපාධීන් ඒ ඒ විෂයයන් තුලින් පිටතට ගෙන ඒම අපහාසයක්ද වන බවයි

මේ අතර තවත් නිලනොවන ආරංචි මාර්ග වලට අනුව කැළණියේ ආචාර්ය මර්වින් සිල්වාට කැළණිය විශ්වවිද්‍යාලයෙන් මහාචාර්ය උපාධියක් පිරිනැමීමට කටයුතු සලසමින් සිටින බවටද සැලය. ඓතිහාසික කැළණිය පුරවරයට තමන් විසින් කරමින් සිටින්නාවූ මහගු සේවය නිසාත්, කැළණිය විශ්වවිද්‍යාලයද තමන්ට ඓතිහාසිකව භාරකාරත්වය පමණක් නොව අයිතියද උරුමවූ නිසාවෙන් ‍එවැනි මහාචාර්ය කමකට තමන්ට සුදුසුකම් තිබිය හැකි බව මර්වින් ආචාර්යවරයාගේ මතයයි.

Sunday, August 23, 2009

කාන්තාවකට එළිපිට දඩුවම් - ඇයි ඒ...?

විදෙස් රූපවාහිනී සේවා වලින් ලංකාවට ගැලපෙන ප්‍රවෘත්ති තෝරාදෙන ස්වර්ණවාහිනිය ඊයේ තෝරාගත් ප්‍රවෘත්තියක් වුනේ මලයාසියාවේ කාන්තාවක් මත්පැන් පානය කළ නිසා ප්‍රසිද්ධියේ කසපහර දීමට තීරණය කර ඇතිබවයි.

මතට තිත තියන්නත්, වැඩිහිටියන්ට පමණක් චිත්‍රපටි වැඩිහිටියන්ට තහනම් කිරීමටත් තීරණය කර ඇති ලංකාවට මේක රසවත් ප්‍රවෘත්තියක් බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.

තත්ත්වය කෙසේ වෙතත් මට ඇතිවුණ ප්‍රශ්නේ මේකයි. ලෝකේ වැඩිපුරම මත්ද්‍රව්‍ය, මත්පැන් පාවිච්චිකරන‍්නේ පිරිමියි. මැලේසියාවෙත් තත්ත්වෙ ඊට වඩා වෙනස් කියලා හිතන්න බෑ. එච්චර බහුතරයක් පිරිමි මත්පැන් පාවිච්චි කරදදි ප්‍රසිද්ධියේ කසපහර දීමට කාන්තාවක්ම හොයාගත්තේ ඇයිද යන්නයි.