Monday, July 26, 2010

‍ලෝක සිනමාවෙන් - Children of Heaven




ළමයා යනු කුඩා වැඩිහිටියෙකු නොවේ යැයි කියමනක් ඇත. එහි සැඟව ඇති අර්ථය යනු ළමා ලෝකය යනු වැඩිහිටියෙකුගේ ලෝකයට හාත්පසින්ම වෙනස්වූවක් බවයි. එකී අපූර්ව ලෝකය සිනමාත්මකව නිරූපණය කිරීමට සම්මානනීය ඉරාන සිනමා අධ්‍යයක්ෂකවරයෙක් වන මජීඩ් මජිඩි විසින් දරණ ලද සාර්ථක උත්සාහයක් 1997 වසරේදී "Children of Heaven" ලෙසින් එළිදැක්විණි. ළමා සිනමාව ප්‍රමිතියකින් තොර නිර්වචනයන්ට යටත් කොට ඇති ලංකාවේ ළමුන්ට භාෂාව බාධාවක් නොවේ නම් සැබැවින්ම රසවිඳිය හැකි නිර්මාණයක් ලෙස හඳුන්වා දිය හැකිය. සිනමා භාවිතය, ඉරාන සංස්කෘතිය, ළමා මනසේ හැසිරීම, උසස් සිනමා කෘතියක තිබිය යුතු බොහෝ ලක්ෂණයන්ගෙන් පරිපූර්ණ "Children of Heaven" චිත්‍රපටය 1998 වසරේදී ඔස්කා සම්මාන උළෙලේ හොඳම විදෙස් චිත්‍රපට වෙනුවෙන් නිර්දේශිත නාමයන් අතරටද, එක්විය.


අලී කියන පුංචි ළමයා එයාගේ කුඩා සහෝදරියගේ කැඩිච්ච පාවහන් යුවළ අළුත්වැඩියා කරගෙන ගෙදර එනවා. අතරමඟදි නිවසට අවශ්‍ය වෙනත් බඩු ගන්න කියලා හිතලා ඒ පාවහන් යුවළ වෙළඳසලක පිටතින් තියෙන රාක්කයක් මත තියනවා. එතනට එන පරණ බඩු ගන්න වෙළෙන්දෙක් වෙළඳසැලේ පරණ බඩු කියලා හිතලා ඒ පාවහන් යුවළත් අරං යනවා. මේ සිද්ධිය අලීගේ ජීවිතේම වෙනස් කරන්න හේතු වෙන්නේ එයාගේ සහෝදරියට පාසැල් යන්න තියෙන එකම සපත්තු කුට්ටම ඒක වීමත්, එයාලගේ තාත්තට අළුත් සපත්තු කුට්ටමක් අරං දෙන්න වත්කමක් නොවීමත් හින්දා. කොච්චර ආර්ථික අපහසුකම් තිබුණත් පාසැල් යන්නත් ඕන. පාසැල් යනකොට සපත්තු දාන්නත් ඕන. ඒත් අයියටයි නංගිටයි තියෙන්නේ එක පාසැල් කුට්ටමයි. හැබැයි වාසනාවකට වගේ මෙයාලා දෙන්නා ජීවත් ඉන්නේ ඉරානේ. ඒ කියන්නේ කාන්තා පාසැල් තියෙන්නේ උදේ වරුවේ, පිරිමි පාසැල් තියෙන්නේ හවස් වරුවේ. කාන්තා පාසැල් අවසන් වෙන වෙලාවෙම පිරිමි පාසැල් ආරම්භ වෙනවා. අයියා යෝජනා කරනවා එකම සපත්තු දෙක මාරු කරගෙන දාගන්න, නංඟිගෙ සපත්තු දෙක හොයාගන්නකං. ඉතිං නංගි සාරා ලැජ්ජාවෙන්, කවුරුහරි දකීවිද කියලා සැකෙන් වගේ පිරිමි සපත්තු කුට්ටම දාගෙන ගිහිං පාසැල අවසාන වුණු සැණින් වේගෙන් දුවගෙන දුවගෙන එනවා. එයාගේ අයියා මඟ බලාගෙන ඉන්නවා නංඟිගෙන් සපත්තු කුට්ටම ගන්න. මේක මේ දෙන්නගේ රහසක් හින්දා කවුරුත් දකින්නත් බැහැ. අලීගේ පාසැලට වෙලාවටම යන්නත් ඕන. ඒත් ඉතිං නංඟි එනකං ඉඳලා සපත්තු මාරුකරගෙන පාසැලට දුවගෙන යනකොට නියමිත වෙලාවට වඩා විනාඩි කිහිපයක් පරක්කු වෙන එක අහන්නත් දෙයක්ද?‍ ඒත් ඉතිං වෙලාවට වැඩකරන්න පුරුදු කරවන කොට මිනිස්සුන්ට ජීවිතේ වෙන බාධක, ප්‍රශ්ණ ගැන හිතන්නේ නැහැනේ.


කොහොම වුනත් වැඩිහිටි ඇසුරෙන් කිලිටි නොවුණු මේ අයියයි, නංගියි දෙන්නට දෙන්නා හරිම ආදරෙයි. ඒක හින්දා තමන්ගේ සපත්තු දෙක අයියා නැතිකළා කියලා තාත්තාට කියන්නෙත් නැහැ. නංඟිට සිදුවුණ අඩුපාඩුව අයියා දන්න හින්දා එයා කොහොමහරි උත්සාහ කරනවා නංඟිගේ අඩුපාඩුව සම්පූර්ණ කරන්න. ඔහොම හැල හැප්පිලි සහිත ජීවිතේ ගලාගෙන යන අතරේ දවසක අලී දකිනවා අන්තර් පාසැල් මැරතන් තරඟයක තෙවන ස්ථානය සඳහා සපත්තු ජෝඩුවක් තෑගි හම්බවෙනවා කියලා දැන්වීමක් පළකරලා තියෙනවා. ඒත් අවාසනාවකට ඒකට අවශ්‍ය තේරීම් තරඟ පවත්වලා ඉවරයි. අලී මේකට සහභාගී නොවුනේ එයාගේ සපත්තු දෙක කැඩෙයි කියලා බයටයි. ඒත් අලී එයාගේ උත්සාහය අත්හරින්න සූදානම් නැහැ. ඒ වුණත් අලීට මේ තරඟාවලියට යන්න පාසැලෙන් ඉඩ ලැබෙයිද? එහෙම ඉඩ ලැබුණත් එයාට දිනන්න අවස්ථාවක් ලැබෙයිද? දිනුවත් එයාට සපත්තු දෙක එයාට ලැබෙයිද? මේ ප්‍රශ්ණ වලට පිළිතුරු හොයන්නනම් චිත්‍රපටිය බලන්න වෙනවා.


ළමා ලෝකය සුන්දරයි කියලා හැමෝම කියනවා. ඒකට ළමයින්ගේ හැඟීම් අවංක වීමත් එක හේතුවක්. වැඩිහිටියෝ වෙලා පසුකාලීනවා තමන්ට මෙන්ම අනුන්ටත් වංක වෙලා කටයුතු කරාට ළමයි එහෙම නැහැ. සාරා නංඟි තමන්ගේ අයියට ආදරෙයි. එයා දන්නවා තමන්ගේ තමන්ගේ අයියා අතින් වැරැද්දක් වුණු බව තාත්තාට කිව්වොතින් තාත්තා එයාට දඩුවම් කරන බව. තාත්තට සල්ලිත් නැති එකේ අළුත් සපත්තු දෙකක් ගන්න කරදර කරන්නත් හොඳ නැහැ. මේ අවංක හැඟීම් වලට පිටින් ගිහිං අයියගෙන් පළිගන්න තරම් සාරා නපුරු වෙලා නැහැ. සිද්ධිය වුනේ කොහොම වුනත් දෙන්නා පොරොන්දු වුණු විදිහට වැඩ කටයුතු කරගන්න ඕන. දවසක් සාරාට පාසැලේදි විභාගයක් ලියන්න තිබුණා, ඉතිං සාමාන්‍යයෙන් පංති ඇරෙන වෙලාවට ගෙදර යන්න විදිහක් නැහැ. ඒත් සාරා දන්නවා එයාගේ අයියා අලී සපත්තු දෙක ගන්න මඟ බලාගෙන ඉන්නවා කියලා. විභාගේ ගැන හිතන්නේ කොහොම ද ? සාරා විභාගය අතරමඟදි නැඟිටලා යනවා. විභාගයක් ‍කියන එක සාරාට තරඟකාරී දෙයක් නෙවෙයි. එයා සාමාන්‍ය ලෝකේ තියෙන තරඟකාරී කමට හුරුවෙලා තිබුනේ නැහැ. අනිත් කෙනා ගැන නොසළකා තනියෙන් විභාගේ ඉහළින් සමත් වෙනවට වඩා එයාට තමන්ගේ පොරොන්දුව ලොකුයි.


ළමා ලෝකයට අදාළ සංවේදී සිදුවීම් ගණනාවකින් මේ චිත්‍රපටය සමන්විත වෙනවා. ළමා ‍ලෝකය ගැන කතා කරන අතරතුර වැඩිහිටියන්ට වෙනමම රසවිඳිය හැකි සිදුවීම් ඇතුලත් විමෙන් චිත්‍රපටය වඩාත් ගැඹුරු ස්වභාවයකට ආරෝපණය වෙනවා කිව්වෝත් නිවැරැදියි. චිත්‍රපයට සඳහා ස්වභාවික දර්ශනයන් ඇතුලත් කිරීමට වෙහෙසී ඇති මජිඩි නගරය තුළ හා පාසැල තුල ඇති දර්ශන සඟවා තබන ලද කැමරා වලින් රූගත කළ බව සඳහන් කරනවා. තමන්ගේ පළමු සිනමා රංගනයට ඉදිරිපත් වන ප්‍රධාන චරිත රඟපාන ළමුන් දෙපළ වන ෆාරොක් හෂ්මියන් (අලී) සහ බහරේ සෙඩිකි (සාරා) අතිවිශිෂ්ඨ රඟපෑමක් සිදුකරන බව ජාත්‍යන්තර විචාරකයින් සඳහන් කරනවා.


ළමා මනස තමන්ට ඕන විදිහට සකස්විය යුතුයැයි ඒකාධිපති මතයක් දරණ ඊට අරක්ගත් ලාංකික ඊනියා සිනමා කරුවන් විසින් මෙවැනි ළමා චිත්‍රපට අනිවාර්යෙන් නැරඹිය යුතුමය. ඉතා විශිෂ්ඨ නිර්මාණයක් වුවද මෙය ලාංකික ළමුන්හට විඳීමට අපහසු විය හැක්කේ භාෂාව සහ සන්දර්භය සමීප නොවීම හේතුකොටගෙනය. ලංකාවේ ළමුන් වෙත සමීප විය හැකි, වින්දනයෙන් යුතු සිනමා නිර්මාණයක් අනාගතයේ කවදාකහෝ බිහිවීමට නම් මෙවැනි චිත්‍රපටයකින් ලබා ගත හැකි ආදර්ශ බොහෝ වේ යැයි මම විශ්වාස කරමි.