Wednesday, September 15, 2010

ගාල්ලේ රෝහිත - නූතන ආශ්චර්යමත් ශ්‍රී ලංකාවේ පෙරගමන්කරුවා ඔබයි!!!!!





පශ්චාත් යුධ ශ්‍රී ලංකාවේ දේශපාලන භාවිතාවේ ප්‍රායෝගික ස්වරූපය එළිදැක්වීමට අවංකව කටයුතු කරමින්, විහාර මහා දේවී උද්‍යානය අසල කණුවක් උඩට වී අතිගෞරවණීය ජනාධිපති උන්නාන්සේ බැහැදැකීමට මාරාන්තික උපවාසයක නිරත වූ ගාල්ලේ රෝහිතට අපගේ ගෞරව පූර්වක ස්තූතිය. ජනාධිපති වන්දනයේ යෙදෙන ලංකාවේ නිදහස් මාධ්‍යයට ජනතාව කඩේ යැවීම සඳහා තවත් පුවත් උල්පතක් මතු කිරීමට පිටුපසින් දිවෙන ප්‍රබල සමාජ, දේශපාලනික පසුබිම මතුකරගැනීම-

-අනාගත ශ්‍රී ලංකාවේ ස්වරූපය තේරුම් ගැනීම සඳහා අතිශයින්ම වැදගත් වනු ඇති බව මේ ලියුම්කරුගේ විශ්වාසයයි. දකුණේ සිංහල බෞද්ධ ජනයා ප්‍රමුඛ පිරිසගේ අවිඥානයේ ප්‍රබලතම ස්ථානය අත්පත්කරගැනීමෙන් අනතුරුව වත්මන් ආණ්ඩුවේ ප්‍රධානතම ප්‍රචාරණ අයිකනය බවට පත්වූයේ "රාජපක්ෂ ජනාධිපති"වරයාය. එහි භෞතික තත්ත්වය වඩාත් ඉස්මතු කරමින් ජනපතිවරයා තමන් වටා සුවිසල් බලතල ප්‍රමාණයක් රඳවා ගත් අතර, ඊට අමතරව තමන්ගේ සහෝදරයින්ටද රාජ්‍යයේ අතිවිශාල බලතල හා සම්පත් ප්‍රමාණයක හිමිකාරීත්වය පැවරීය. සැබැවින්ම මෙකී සහෝදරවරුවන් තුලින්ද මහජනතාව වෙත නිරූපණය වූයේ මහින්ද රාජපක්ෂ ප්‍රතිරූපයමය. චන්ඩිකම් හා ත්‍රස්තවාදය පිළිබඳව වන ප්‍රතිරූපයක් හෝ කපටිකම්, වංචාකම් හා ගේම් කාරයෙක් ලෙස ප්‍රතිරූපයන් ජනතාව තුළ ඉස්මතු වුවද මහින්ද රාජපක්ෂ නොමැති රාජපක්ෂ පවුලක් හෝ වත්මන් ආණ්ඩුවක අනන්‍යතාවයක් තවමත් බිහිවී නොමැත.

එක් පසෙකින් සංකේතීය ලෙස අනන්‍යතාවය ජනාධිපතිවරයා වටා ගොඩනැගෙන විට අනෙක් පසින් භෞතික තත්ත්වයන්ද, ඊට සමාන්තරව ඔහු වටා (ජනාධිපති හා ඔහුගේ පවුල) ගොඩනැ‍‍ඟෙන විට රටේ පවතින සියළු යාන්ත්‍රණයන් පසෙකලා එක් පුද්ගලයෙකු වෙත සාමාන්‍ය ජන විඥානය ගොණු වීම වළකනු නොහැක. මෙය තව දුරටත් විස්තර කරන්නේ නම් පසුගිය සමයේ පැවති සියළුම මැතිවරණයන් ආණ්ඩු පක්ෂ‍ය ජයග්‍රහණය කළේ ජනාධිපතිරයාට ඇති ජන පක්ෂපාතීත්වය නිසාය. මහජනයා ඡන්දය දුන්නේ කුප්‍රකට ප්‍රාදේශීය දේශපාලඥයින් වෙනුවෙන් නොව තමන්ගේ මහා සතුරා පරාජයට පත්කළා යැයි වෙළඳ ප්‍රචාරණය විසින් නොකඩවා දක්වමින් සිටි පුද්ගලයා වෙනුවෙනි.

මේ තත්ත්වයන් රාජපක්ෂ රෙජීමය විසින් (රාජපක්ෂ පවුල හා එහි බුද්ධිමය කොටස් හසුරුවන පිරිස) හොඳින් අවබෝධ කරගෙන තිබිණි. තමන්ව විකුණා තවත් පිරිසකට සැපවිඳීමට ඉඩ නොදුන් රාජපක්ෂවරු සිය ගෝත්‍රික ලක්ෂන ප්‍රකට කරමින් තමන්ගේ විස්තෘත පවුල වටා සියළු සම්පත් ඒකරාශීකරණයෙහි යෙදුණි. ගෝඨාභයගේ සිට චමල් දක්වාද, සජින් වාස්ගේ සිට සුරත් බන්ධු දක්වා වූ ක්‍රියාමාර්ග සිදුවන්නේ මෙනිසාය. ඩලස්ට හෝ මර්වින්ට, විමල් ට හෝ චම්පිකට කිසියම් වරප්‍රසාදයන් ලැබුණේ යැයි කිවහැකි වුවද, පසුගිය කාලයේ කැබිනට්ටුවේ සිදුවීම් (විමල්ගේ යෝජනා ඉවත්කිරීම) හෝ තරුණ සේවා සභා‍ව සම්බන්ධ සිදුවීම් (නාමල් රාජපක්ෂ ඇඟිලි ගැසීම) වලින් පෙනී යන්නේ, ජීව විද්‍යාත්මක පවුලට අයත් නොවන පිරිසට කටු හැරුණු කොට මස් හම්බවන්නේ සීමාන්තිකව බවය.

සංකල්පීය හා භෞතික තත්ත්වයන් රාජපක්ෂ වටා ගොඩනැඟුණු විට ගාල්ලේ රෝහිත විසින් තමන්ගේ ගැටළුව සඳහා සෘජුවම ජනාධිපතිවරයා මුණගැසීමට ඉල්ලීමක් කිරීම පවතින සමාජ දේශපාලන වටපිටාව අනුව අතිශයින්ම නිවැරැදි ක්‍රියාවකි. රාජපක්ෂ ජනාධිපති වටා පවතින රාජපක්ෂ පවුලේ පරිපාලන යාන්ත්‍රණය තේරුම් ගැනීමට තරම් මුහුකුරා නො‍ගිය ගාල්ලේ රෝහිත, තමන්ගේ මනසට තේරුම්ගත හැකි පරිදි වඩාත්ම නිවරැදි ස්ථානය ආමන්ත්‍රණය කිරීමට උපක්‍රමයක් ලෙස කණුවක් උඩ උපවාස කර ඇත. මෙහි පංචායුධ විසින් එක්සත් ජාතීන් ඉදිරිපිටදී සිදුකළ මාරාන්තික උපවාසය මෙන් උපක්‍රමිකව අසාර්ථක හෝ බලපෑම් කළ යුතු නිවරැදි ස්ථානය මඟහැරීමක් හෝ සිදුව නොමැත.

රටේ සාමාන්‍ය ජනවිඥානයට අනුව සියල්ල කළ හැකි සර්වබලධාරී ප්‍රජාතාන්ත්‍රක ජනනායකයා ජනාධිපතිවරයාය. ඊට ‍භෞතිකව අභියෝගයක් විය හැකි දා හත්වැනි සංශෝධනය හෝ, විශ්ව මානව හිමිකම් මූලධර්ම, සම්භාව්‍ය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම තවදුරටත් ලංකාවට වලංගු නොමැත. මේ නිසා රටවැසියාගේ ආකල්පයන් ඉටුකළ හැකි තත්ත්වයක් ජනාධිපතිවරයා සතුව ඇත. ඔහු විසින් දැන් සිදුකළ යුතු වන්නේ තමන් වෙත පැමිණෙන පිරිස් ලබාදෙන ලබන ගැටළු සඳහා සිය විස්තෘත පවුලේ පරිපාලන යාන්ත්‍රණය මඟින් පිළිතුරු සපයා දීම නොවේද?

ගාල්ලේ රෝහිත, ඔබට ජය...! නූතන ආශ්චර්යමත් ශ්‍රී ලංකාවේ පෙරගමන්කරුවා ඔබය.

(මෙම ලිපිය බූන්දි වෙබ් අඩවියේද සටහන් වුණි)

Wednesday, September 8, 2010

කුම්භලාකරවල කෑ බළලා මළපහ කරන තෙක් බලාසිටීම නොහොත් අමන ලාංකිකයින්ගේ හිස් වැඩ


ලංකාවේ මිනිස්සුන්ගේ ඓතිහාසික ගොන් කං ගැන අපි අහල තිබුණ විතරයි. ජීවිත කාලය පුරාවටම පොඩි පොඩි අමන වැඩ දැකල තිබුණට 83 කළුජූලිය හරි, ඊටත් ඉස්සෙල්ලා 78 ජේ ආර්ට ‍උමතු ලෙස සහයෝගය දැක්වීම වගේ දේවල් පිළිබඳව ඇස්පනාපිට අවබෝධයක් ලබාගන්න හැකියාවක් තිබුණේ නැහැ. ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන හිස්බව, මෝඩකම, තුන්වැනි ලෝකයේ රටක් විදිහට තවදුරටත් පැවතිය යුත්තේ ඇයි කියන දේවල් වලට හොඳ පිළිතුරු රැසක් මේ කාලසීමාව තුලදි අපට අත්දකින්න ලැබෙනවා.


මර්වින්ව සියළු චෝදනාවලින් නිදහස් කිරීම, ෆොන්සේකාගේ ජනරාල් තනතුර පහළ දැමීම වගේ දේවල් අපිට දුරස් දේවල් වගේ දැනුනත් අපි කාටවත් ඉන් සිදුවන බලපෑ‍ම මඟහරින්නට නොහැකි ව්‍යවස්ථා සංශෝධනයක් දැන් සිද්ධ වෙලා. එක් පුද්ගලයෙක් වටේ අසීමිත බලයක් ගොඩනැඟීම සඳහා ලංකාවේ අමන ජනයා පොරකන විට ප්‍රජාතන්ත්‍රවාදය කියන මේ නාමික‍ දේශපාලන දෘෂ්ඨියෙන් ඉල්ලා අස්වීමේ හැකියාවක් තියෙනවනම් කොච්චර හොඳද කියලා හිතෙනවා.


ලංකාවේ උදේ හවා බණ කියන චීවරධාරීන්ට අනුව "වෙනස්වීම" කියන නියමය ගණන් ගන්නේ නැතුව පිස්සන් රැලක් වගේ හූ කිය කියා සියළු බලයන්ගෙන් අගතැම්පත් රජෙක් තනන්ට යන අමන බහුතරය සැබැවින්ම මේ දේවල් ගැන හැඟීමක් තියෙනවද කියන එක සැකයක්. ව්‍යවස්ථාව ගැන ඇති අවබෝධයට වඩා මේ සංශෝධනයට සහාය දක්වනන් තුළ ඇත්තේ ස්වපුද්ගල අභිමථාර්ථයන් ඉටු කරගැනීමේ අදහසක්. තමන්ගේ තනතුරු, සැපපහසුකම් ගැන හිතන ආණ්ඩුවේ මන්ත්‍රීවරු, නොකැපී බේරෙන්න හදන වාසුදේව ඇතුලේ දක්ෂිනාංෂික නාමික වම්මු, ලැබෙන අල්ලස්වලින් හත්මුතු පරම්පරාවක් ගොඩදාගන්න දඟලන යූඇන්පී මන්ත්‍රීවරු මෙන්ම ප්‍රදේශයේ දේශපාලඥයාට ගොට්ට අල්ලා තමන්‍ව ගොඩදාගන්න දඟලන පිරිස් මේ බහුතරය අතර බහුලයි.


කොටුවෙන් පිටතට ඇවිත් බලන ඕනම කෙනෙක්ට ඉතා පහසුවෙන් අවබෝධ කරගත හැකි කරුණු කිහිපයක් තියෙනවා.

1. ලංකාවේ සමාජ දේශපාලන අවකාශයට අත්‍යවශ්‍යයෙන්ම සිදුවිය යුතු කරුණු කාරණා කිසිවක් මේ සංශෝධයෙන් ඉළක්ක වන්නේ නැහැ.

2. මේ සංශෝධනය හුදෙක්ම රාජපක්ෂ ජනාධිපතිගේ පුද්ගලික අවශ්‍යතාවන් මතම පදනම් වූවක්. එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වත් සාධනීය බලපෑමක් කරයි කියලා දිගුකාලිනව බලාපොරොත්තු වෙන්න බැහැ.

3. ආණ්ඩුව විසින් මෙහෙයවෙන් ජනප්‍රියවාදී මාධ්‍ය මෙහෙයුම ඇතුළේ සාමාන්‍ය ජනයාගේ සිතීම නිෂ්ක්‍රීය කිරීමට උත්සාහ කරනවා.


අසීමිත බලයක් ඒක රාශී වීම වෙනුවෙන් පෙනී ඉන්නට සිදුව ඇති පිරිස් වෙත දකින්නට ඇති පොදු ලක්ෂනය වන්නේ, ඔවුන් විසින් රෙජීමයේ අයුතු ඉපැයීම් වලින් කටුවක් හෝ ලෙව කෑමට ඇති ආසාවත්, අශුද්ධ බල කේන්ද්‍රීකරණය තුලින් තමන්ටත් ආරක්ෂාවක් ලැබෙන පරිදි එල්ලී සිටීමට හැකියාවක් ලබාගැනීමත්ය. ඒ හරහා ක්‍රියාත්මක රාජ්‍ය මාධ්‍ය පමණක් නොව පුද්ගලික මාධ්‍ය බහුතරයක් පවා රාජපක්ෂ රෙජීමයේ ජනප්‍රියවාදී ප්‍රචාරණයට රුකුල් දෙමින් ලංකාවේ හිස් මිනිසුන්ට පෙර නොවිඳි උත්තේජනයක් ලබා දෙමින් පබාගේ සිට වහින්න මුතුවැස්සක් දක්වා වූ රමණයේ සුරාන්තය අත්කර දෙති. ඒ ලබන ආතල් එක තවත් කාලයක් මෙකී ගොන්රැළ නිහඬව තබා ගැනීමට ප්‍රමාණවත්ය.


මෙකී ව්‍යවස්ථා සංශෝධනයේ ඇති නිශේධනීය භාවය ගැන තාක්ෂණික ලෙස ප්‍රශ්ණ කරමින් තර්ක විතර්ක කළාට ලාංකිකයින්ට වැඩක් වන්නේ නැත. රාජපක්ෂ විසින් ලබාදුන් ආතල් එකෙන් ගැහැණු පිරිමි සියළු දෙනා එකී පවුල වෙත අන්ධ ලෙස ආකර්ෂණය වී ඇත. දැන් අපට සිදුව ඇත්තේ කුම්භලාකරවල කෑ බළලාට මෙන් ලාංකිකයින් විසින තමන් විසින් භක්ෂණය කළ දෑ මළපහ කරන තුරු බලාසිටීමටය.