Monday, August 31, 2009

තාරුණ්‍යයට හෙටක් ‍ලෝක වෙළද මධ්‍යස්ථානයට ගෙන යාම සහ එහි ප්‍රාග්ධනයේ පසුබිම


NGO වලට කෙළපු දේශප්‍රෙමී ආණ්ඩුව සමයේ නැගලා යන රාජ්‍ය නොවන සංවිධානයේ මූලස්ථානය ලෝක වෙළද මධ්‍යස්ථානයට රැගෙන යන බව පැවසේ. ලක්ෂ ගණනක මාසික කුලියක් ගෙවිය යුතු ලෝක වෙළද මධ්‍යස්ථානය වෙතට තාරුණ්‍යයට හෙටක් යාමේ පසුතලය විමසීම අවශ්‍යතාවයකි.


පසුගිය බ්ලොග්සටහනක දක්වා ඇති පරිදි ලෝකයේ ප්‍රබලතම ජාවාරම් අතරට ආයුධ, මත්ද්‍රව්‍ය මෙන්ම මානව හිමිකම්, සාමය වැනි කාරණාද ඇතුලත්ය. එමෙන්ම සරණාගත ගැටළුවද හොදින් විකුණාගෙන කෑ හැකි බව සුනාමි අත්දැකීම් ඇති අප දනිමු. ලාභ ලබන වෙළදාම් වල කේන්ද්‍රස්ථානයක් වන ලෝක වෙළද මධ්‍යස්ථානයට ලාභ නොලබන, රාජ්‍ය නොවන සංවිධානයක් වන තාරුණ්‍යයට හෙටක් ගෙන යන්නේ මෙවැනි පසුබිමක් තුලය.


යුධ පීඩාවෙන් දුක් විදි රටක් ලෙස මෙන්ම තුන්වැනි ලෝකයේ දුප්පත්කම පිරි රටක් ලෙස ලංකාවට ලද ආධාර බටහිර අධිරාජ්‍යවාදී කුලී ඒජන්තයින් ලෙස ක්‍රියාකල දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන තමන්ගේ සුඛෝපභෝගී ජීවන තත්ත්වය ගොඩ නගා ගැනීම සදහා ක්‍රියාකළ ආකාරය ලංකාවට පුරුදු අත්දැකීමකි. ප්‍රධාන NGO සියල්ල කොළඹ ආශ්‍රිතව අති සුඛෝපභොගී කාර්යාල පවත්වාගනිමින් 60%කටත් වැඩි තමන් වෙත ලැබෙන ආධාර මුදල් සිය ආයතනයේ නඩත්තු මුදල් ලෙස භාවිතා කරමින් ලංකාවේ යුද්ධය සහ දුප්පත් කමෙන් කඩාවඩා කෑම තවදුරටත් ක්‍රියාත්මකය. කුමාර් රූපසිංහ වැනි සාම වෙළෙන්දෙක් ලක්ෂ 17ක් පමණ මාසික වේතනයක් ලබාගන්නේ මෙවැනි තත්ත්වයක් තුලය.


රාජ්‍ය නොවන සංවිධාන වල මෙආකාරයේ විකුණාගෙන කෑම් සහ පාවාදීම් වලට එරෙහිව නැගී සිටි ජාතිකවාදී ව්‍යාපාර මහින්ද ජනාධිපතිවරයාට සහයෝගය දැක්වූ බව රහසක් නොවේ. මෙතෙක් රාජ්‍ය නොවන සංවිධාන වල සුඛෝපභෝගීත්වය කොළඹ 07 රහසින් පවත්වාගෙන යන විට ලෝක වෙළද මධ්‍යස්ථානයට සිය කාර්යාලය පිහිටවූ ප්‍රථම ලාංකික රාජ්‍ය නොවන සංවිධානය ලෙස තාරුණ්‍යයට හෙටක් වාර්තාගත වන්නේ පෙරකී ආකාරයේ ජාතික ව්‍යාපාරයන්ගේ සහයෝගය ලැබූ රජයක් බලයේ සිටින කාලයේදී වීම හාස්‍යයට කාරනයකි. එකී රාජ්‍ය නොවන සංවිධානය ‍රටේ විධායක ජනාධිපතිවරයාගේ නිල අනුග්‍රහයෙන් ඔහුගේ පුත්‍රයා විසින් පවත්වාගෙන යෑම සැබැවින්ම සිවිල් සමාජයේ අවධානය අනිවාර්යෙන් යොමුවිය යුත්තකි.



NGO ප්‍රාග්ධනය


පෙර සදහන් කර ඇති අධිරාජ්‍ය වාදී කුලී ඒජන්තයින් බවට පත්වූ NGO සදහා ප්‍රාග්ධනය සැපයෙන්නේ බටහිර අධිරාජ්‍යවාදී, වෙළද ව්‍යාප්තවාදී, ආගමික වැනි ආධාරක සංවිධාන වලිනි. USAID, AUSAID, GTZ, DFD, CIDA, World Vision මෙන්ම තානාපති කාර්යාල වැනි ආධාරක ආයතන රාශියක් මේ අතරට අයත් වන අතර ඔවුන් විසින් ආධාර දීම සදහා ව්‍යාපෘති වාර්තා සකස් කොට පිළිපැදිය යුතු නිශ්චිත විධික්‍රමයයන් සකස් කොට තිබේ. පිටතින් දැඩි වෘත්තීය සහගත බවක් දැක්වුවද ඊට යටින් ඇත්තේ තම න්‍යාය පත්‍රයන් රටතුළ ක්‍රියාත්මක කරගැනීමේ අවශ්‍යතාවක් බව විමසිල්ලෙන් සිටින කිසිවෙකුට වුවද අවබෝධ වේ. ලංකාව තුළ සුබසාධන සංවිධාන වල ව්‍යාප්තවීමක් සිදුවූයේ මෙවැනි ප්‍රාග්ධනයක් ගලා ඒම නිසා මිස ලංකා‍වේ මිනිස්සු පිනට වැඩ කිරීමට උනන්දුවක් දක්වන නිසා නොවේ.


බටහිර ව්‍යාප්තවාදී රටවල් වලින් ගලාඑන ආධාර මුදල් වල මූඛ්‍ය වුවමනාව නම් ලිබරල් ආර්ථිකය තමන්ට හිතැති ආකාරයට ව්‍යාප්ත කිරීමත්, සිය සූරාකෑමේ ක්‍රියාවලීන් කාර්යක්ෂමව සිදුකිරීම සදහා ජනතාව විනාශ නොකර රදවා ගැනීමේ සිට සමස්ත රටේ දේශපාලන ක්‍රියාවලියට බලපෑම් කළ හැකි, තමන්ට හිතවත් සංවිධාන ජාලයක් පවත්වා ගැනීම දක්වා දැඩි පරාසයක් තුළ අර්ථකථනය කළ හැක. මේ නිසාම ජාතිකවාදී ව්‍යාපාර මෙන්ම වාමාංශික කොටස්ද මේ කෙරෙහි දැඩි විරෝධතාවක් දක්වන්නට විය.(ජාතික ගැටළුව කේන්ද්‍රගත කොට ෆෙඩරල් ක්‍රමය වැනි දෙමළ ජනයාගේ ගැටළුවට විසදුම කරුණු වලදී බටහිර සහ වාමාංශික කොටස් සමාන්තර මතයක් දැරූ නිසා පරණ වම NGO කරණය හරහා ප්‍රාග්ධනීකරණය වීමක් සිදුවී අවසානයේ ලිබරල්වාදී විය.)


මෙවැනි තත්ත්වයක් තුළ සන්ධාන ආණ්ඩුවේ යුධ ක්‍රියාමාර්ගය තුලදී ක්‍රියාත්මක වූ ජනප්‍රියවාදී ක්‍රියාමාර්ගයක් ලෙස ලංකාවේ ක්‍රියාත්මක වූ බො‍හෝ NGO සදහා තහංචි වැටිණි. ඒ සදහා එතෙක් නිර්මාණය කොට තිබූ කළු ප්‍රතිරූපයෙන් මහජන සහයෝගය ලැබුණු අතර යුද්ධය හා ජනවාර්ගික ගැටළුව පිළිබද මතුව තිබූ මැදිහත් අදහස්ද ඊට සමාන්තරව යටපත් විය.


ඒ මෙතෙක් ලංකාවේ සාමාන්‍ය NGO වල කතාන්දරයයි. මේ අතරතුර "තාරුණ්‍යයට හෙටක්" නම් සංවිධානයක් බිහිවන්නේ කීර්තිමත් ජනාධිපතිවරයාගේ සුකුමාල පුත් නාමල් රාජපක්ෂගේ නායකත්වයෙනි. නාමල් උඩින් හිටියද සැබැවින්ම වැඩේ කරගෙන යන්නේ කුප්‍රකට සොරෙකු වන සජින් වාස් බව කුඩා නිරීක්ෂණයකින් වුවද දැකගත හැක.



"තාරුණ්‍යයට හෙටක්" ප්‍රාග්ධනය කොහෙන්ද ?


සියළු දෑ හට මිලක් ඇති සමාජයක තාරුණ්‍යයට හෙටක් ඉතා කෙටි කාලයකින්ම සාමාජීය දේශපාලන වටිනාකම කෙසේ වෙතත් මිලෙන් අධික වැඩ රාශියක් සිදුකිරීමට සමත්විය. මූලික වැඩසටහන් සදහා පහසුකම් සපයා ගැනීමට රටේ ජනාධිපතිවරයාගේ උදව් උපකාරය ලැබුණා යැයි බලාපොරොත්තු තැබිය හැකි වුවද, සමස්ත ක්‍රියාවලීන් සදහා ජනාධිපතිවරයාගේ බලතල, සිවිල් වටිනාකම, නාමල්ගේ ජනප්‍රියත්වයේ උදව් උපකාර වලින් පමණක් උපයාගත නොහැකි ප්‍රාග්ධනයක් සංසරණය වන ආකාරයක් දක්නට ලැබුණි. රටේ සාමාන්‍ය රාජ්‍ය නොවන සංවිධාන වලට ප්‍රාග්ධනය පොම්ප කරන මාර්ගයන් කුප්‍රකට වුවද ඒවා පැහැදිලිය. බටහිර කුමන්ත්‍රණ න්‍යාය පත්‍ර වලට අනුකූලව සැකසුනද ඔවුන් තම ඊනියා විවෘත භාවය සදහා විගණනයන්ද සිදුකරති. එහෙත් අනාගත ජනපති වීමේ දිගුකාලීන ව්‍යාපෘතියේ නිරත නාමල් පසුපස ඇති ප්‍රාග්ධනය පැහැදිලි නැත.


පසුගිය ජනාධිපතිවරණය සමයේ මතුවූ "හෙල්ප් ඉන් හම්බන්තොට" ගිණුම සම්බන්ධයෙන් වන චෝදනාවෙන් ජනාධිපතිවරයා නිදහස් වූයෙ නැත. සුනාමියට ආ ඒ මුදල් වලට සිදුවූ කිසිම සලකුණක් නැත. අඩුම තරමින් හම්බන්තොට සංවර්ධනයට වත් එම අරමුදලෙන් කොටසක් යෙදවූ බවක් දක්නට ලැබුණේ නැත.

ඉහත දක්වා ඇති පරිදි, ‍ සංඛ්‍යා දත්ත අනුව ලෝකයේ දැවැත්තම ජාවාරම ආයුධ ජාවාරමයි. රට රටවල් වලින් ‍කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ඒ සදහා වැයකරයි. මාගේ මතකයට අනුව යුද්ධය වෙනුවෙන් ශ්‍රී ලංකාව පසුගිය වසරේ පමණක් රුපියල් බිලියන 150කට වැඩි මුදලක් වැය කර ඇත. එල්ටීටීය පරාජය කිරීම සදහා අතිනවීන ආයුධ වලින් සන්නද්ධ කිරීමට ඉහත මුදල් ප්‍රමාණයෙන් 70%ක් වත් මුදල් යොදවන්නට ඇත. ර‍ටක් එආකාරයෙන් ආයුධ මිලදී ගන්නා විට අනිවාර්යෙන්ම ලබාදෙන කොමිස් මුදල් ගැන කිසිදු සටහනක් නොමැත. සමස්ත මිලදී ගැනීම් වලින් 20% සිට 50% ක් පමණ දක්වා වන අදාළ කොමිස් මුදල් සංඛ්‍යාත්මකව ගණනය කළ විට කොතරම්ද යන්න වටහා ගත හැක.


දැනට මැණික්ෆාම් අනාත ගම්මාන වල ක්‍රියාත්මක වන විදේශීය රාජ්‍ය නොවන සංවිධාන සහ දේශීය රාජ්‍ය නොවන සංවිධාන කිහිපය හැරුණුවිට මාධ්‍යයේ ප්‍රසිද්ධිය ලබමින් ක්‍රියාත්මක වන්නේ "තාරුණ්‍යයට හෙටක්" බව රටම දනී. සරණාගත පිරිසට රජයෙන් ලැබෙන අල්ප වූ සැලකිලි නිසා නාමල්ට වන්දි ගෙවීමට සිදුවූ බව ප්‍රසිද්ධ රහසකි. ලක්ෂ 03කටත් අධික සරණාගත පිරිස වෙනුවෙන් ලැබෙන අතිවිශාල ආධාර ප්‍රමාණය කිනම් දිශාවකට යොමුවී ඇත්ද යන්න සැකසහිතය.


පැහැදිලි නොවන ප්‍රාග්ධනයක් මගින් මෙහෙයවෙන සංවිධානයන්ට ජාවාරම් වලින් සහයෝගය ලැබෙන්නේ නම් ඒ අතර ප්‍රධාන වන්නේ ආයුධ සහ මත්ද්‍රව්‍ය වලිනි. ලංකාවේ ආයුධ පරිභෝජනය දැන් අඩුවී ඇත. එහෙත් මත්ද්‍රව්‍ය පරිභෝජන එසේ වී නොමැත. මතට තිත ලෙස කිව්වද ඉන් සිදුව ඇති වක්‍රාකාර ‍උපකාරයන් සංවේදී නිරීක්ෂණයන්ට පැහැදිලිව හසුකර ගත හැක.


මිලියන බිලියන ගණන් වලින් මුදල් සංසරණය වන වටපිටාවක ලෝක වෙළද මධ්‍යස්ථානය වෙනුවෙන් ගෙවීමට ඇති ලක්ෂ කිහිපයක මාසික කුලිය සැළකිය යුතු ගණනක් වන්නේ නැත. පාන් ගෙඩියක් ගන්නටත්, තේ එකක් බොන්නටත් දෙපාරක් සිතන්නට සිදුව ඇති සාමාන්‍ය ජනතාවට නම් රු 100 ත් සැළකිය යුතු මුදලකි.

බලය කේන්ද්‍රගත වන විට මුදල්ද කේන්ද්‍රගත වීම සාමාන්‍යය. එහෙත් හැමදාම හැමෝටම අවුරුදු නැත. නිව්ටන්ට අනුව සෑම බලයකට සමාන වූත් ප්‍රතිවිරුද්ධ වූත් බලයක් ඇත. ඒ භෞතික විද්‍යාවේදීය. සමාජ විද්‍යාව තුල එය කෙසේ වේ දැයි අප නිරීක්ෂනය කරමු. සමාජයේ ප්‍රතිවිරුද්ධ බලය සදහා මේ ක්ෂුද්‍ර වූ තල්ලුවක් පමණි.


Friday, August 28, 2009

කැළණියේ ‍නපුංසකයා

කැළණියේ අධිපති ආචාර්ය මර්වින් සිල්වා තුමාට එදිරිව ගිය කැළණිය ප්‍රාදේශීය සභා සභාපතිතුමා තමන් විසින් ආචාර්ය තුමාට එල්ල කළ චෝදනා අසත්‍ය බව ඊයේ දිවුරාප්‍රකාශ කළේය. ලංකාවේ තක්කඩි දේශපාලඥයින් කෙලින පට්ට කෙබර අතරින් තමන් බොරුවක් ප්‍රකාශ කළ බව පිළිගත් එකම කෙනා මොහු බව මගේ වැටහීමයි. (තඩි කෙබරයක් ඇද බෑ සංස්කෘතික ඇමති පියසිරි විජේනායක තම මිල අධික මොන්ටේරෝව ගැන මාධ්‍යවේදීන් ප්‍රශ්ණ අසන විට මග හැරගියේය.)
රහත් වීමට ටිකක් මෙහෙන් සිටින මර්වින් තමන්ගේ නිවසට මැරප්‍රහාර එල්ල නොකළ බව කැළණිය සභාපති ප්‍රසන්න සිල්වා මහතා මාධ්‍ය මගින් නිවේදනය කර සිටියේය. දිවුරා කල එම ප්‍රකාශය සත්‍යයද අසත්‍යද යන්න රටටම අමුතුවෙන් කිව යුතු නැත. ඉදිරියේදී මර්වින්ද ප්‍රසන්න යනු හොරෙක් බවට කළ ප්‍රකාශයන් අසත්‍ය බවත් ඔහු ඉතා දක්ෂ ප්‍රාදේශීය නායකයෙකු බවත් ප්‍රකාශ කළහොත් එහි පුදුමයක්ද නැත.
රටේ පිස්සු බල්ලන් ඇතිකිරීමට එකම අයිතිය ලත් සත්ගුණවත් මහරාජාණන් තමන්ගේ යටිපූට්ටු ගේම් දෙන පිස්සු බල්ලා සිය සැදැහැවත් බෞද්ධ ඡන්දකාරයන්ට සේවය කිරීම පිණිස බෞද්ධය‍න්ගේ මුදුන්මල්කඩක් වූ කැළණිය ප්‍රදේශයට එවා ඇත. ඌ විසින් සිදුකරන තක්කඩිකම් ගැන කෙතෙක් කරුණු එළිකළද කාටත්හොද මහරාජාණන්ගේ කනට ඒවා ඇසෙන්නේ, පෙනෙන්නේ නැත. තම මැදමූකලාන හීනමාන පරම්පරාවේ සිට කොළඹ 07 රාජපක්ෂ කෙනෙකු බිහිකිරීමට ඉඩම් හොරකම් කරන්නේත්, මහරජාගේ පාතාලය මෙහෙවන්නේත් මේ පිස්සු බල්ලා බැවින් දත් 32ම එලියට දා හිනාවුනත් මහරජාට පිස්සු බල්ලා ගැන හැගීමක් නැත.
කැළණියට ආ මර්වින් සියළු දෑ තමන් සතු කරගන්න උත්සාහ කරන විට නොනැමුණු කිරිබත්ගොඩ එක්සත් වෙළද සංගමයට ඔවුන් සතුව ඇති ශක්තිමත් කොන්ද වෙනුවෙන් අ‍පගේ ප්‍රණාමය හිමිවිය යුතුය.(ඔවුනගේ මතවාදයට අප එකග නොවුනද කොන්දට ප්‍රණාමය) මන්ද පිස්සු බල්ලන් සමග සෙල්ලම ලේසි නැති නිසාය, ඒ ඌට පිස්සු නිසාය. අන්තිමට කිරිබත්ගොඩ එක්සත් සුහද සිංහල වෙලද සංගමයක් බිහිව ප්‍රදේශය විනාශ කරන්නේ මේ නිසාය.
බලමු , බලමු , ඔය ඉන්නවැයි කියන තිස්තුන් කෝටියක් දෙවියන්ගෙන් එකෙක්වත් ඇති‍නේ......

Thursday, August 27, 2009

කාන්තාවකට එළිපිට දඩුවම් - ඇයි ඒ...?


විදෙස් රූපවාහිනී සේවා වලින් ලංකාවට ගැලපෙන ප්‍රවෘත්ති තෝරාදෙන ස්වර්ණවාහිනිය ඊයේ තෝරාගත් ප්‍රවෘත්තියක් වුනේ මලයාසියාවේ කාන්තාවක් මත්පැන් පානය කළ නිසා ප්‍රසිද්ධියේ කසපහර දීමට තීරණය කර ඇතිබවයි.

මතට තිත තියන්නත්, වැඩිහිටියන්ට පමණක් චිත්‍රපටි වැඩිහිටියන්ට තහනම් කිරීමටත් තීරණය කර ඇති ලංකාවට මේක රසවත් ප්‍රවෘත්තියක් බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.

තත්ත්වය කෙසේ වෙතත් මට ඇතිවුණ ප්‍රශ්නේ මේකයි. ලෝකේ වැඩිපුරම මත්ද්‍රව්‍ය, මත්පැන් පාවිච්චිකරන‍්නේ පිරිමියි. මැලේසියාවෙත් තත්ත්වෙ ඊට වඩා වෙනස් කියලා හිතන්න බෑ. එච්චර බහුතරයක් පිරිමි මත්පැන් පාවිච්චි කරදදි ප්‍රසිද්ධියේ කසපහර දීමට කාන්තාවක්ම හොයාගත්තේ ඇයිද යන්නයි.

මේ වේදිකා නාට්‍ය වසන්තයයි....කොටුවෙන් එළියට එමු!


මේ වේදිකා නාට්‍ය වසන්තයයි. ලංකා‍වේ තවමත් කොන්ද කෙළින් තියාගෙන නිර්මාණාත්මක කලාවක් ලෙස නාට්‍යකලාව පවත්වාගෙන යනු ලබන නාට්‍යකරුවන් ගේ නවමු ආගමනයන් සිදුවන්නේ මේ කාලය තුලයි. කාරණා බොහෝමයක් සෘණ මට්ටමෙන් ගමන් කරන විට නාට්‍ය කලාවේ ඇතිවී ඇති ප්‍රගමනය, ගවේෂණාත්මක බව, රසවින්දනයේ පළල් බව ගැන සැබැවින්ම අතිශය සතුටුවිය හැක්කේ ඉන් ඇතිවන බලාපොරොත්තු සහගත බව නිසාය.

පසුගිය දිනවල පැවති නාට්‍ය සංදර්ශන වලදී සැළකිය යුතු පිරිස් සහභාගීත්වයක් තිබුණද එහි වන සුවිශේෂී ලක්ෂණය වන්නේ එකම පිරිසක් නාට්‍ය නැරඹීමට පැමිණීමයි. මූල්‍යමය වශයෙන් එහි ගැටළුවක් නොවුනද නාට්‍යයක් නිෂ්පාදනයේදී වන සාමාජීය කාර්යභාරය ඉන් ඉටුවනවාද යන්න ගැටළුවකි. එහි අවසන් ප්‍රතිඵලය නාට්‍ය රසිකයින් කොළඹ අවට පමණක් බිහිවීමයි.

පවතින අධිතරගකාරී ආර්ථිකය තුළ නාට්‍ය, ඉහළ රසවින්දනාත්මක චිත්‍රපට, සංගීතය වෙනුවට ක්ෂනික නිෂ්පාදිත ටෙලිනාට්‍ය, සංගීතපට, මෙන්ම චිත්‍රපට වල වලට වැඩි ඉල්ලුමක් පැවතීම එක් ලක්ෂනයක්. ඒ අතරතුර කොළඹ කේන්ද්‍රීයව පවතින මෙකී කලාත්මක නිෂ්පාදන රසවින්දනය සදහා කොටුවෙන් එළියට පැමිණ කාලය, මුදල්, නවාතැන්පලවල් සොයාගැනීමට අපට බලකර ඇත.

අවශ්‍ය වන්නේ ඒකාකාරී දිවියෙන් ඉවත්වීමට ඇති දැඩි අවශ්‍යතාවත්, ඒ කොටුවෙන් එලියට ඒමට අවශ්‍යවීමත්මය. අපගේ එළියට ඒම කලානිෂ්පාදනයට කරන දායකත්වයක් පමණක් නොව සමස්ත සමාජයේ ප්‍රගමනයට දක්වන දායකත්වයක් වනු ඇත.

Tuesday, August 25, 2009

ඩෙස්මන් මල්ලිකාරච්චි මහාචාර්යධූ‍රයෙන් ඉවතට, ආචාර්ය මර්වින්ට මහාචාර්ය ධූරයක් !




පේරාදෙණිය සරසවියේ දර්ශනය අධ්‍යයන අංශයේ මහාචාර්ය ඩෙස්මන් මල්ලිකාරච්චි මහතාගේ මහාචාර්ය භාවය අහෝසිකරන්න තීරණය කරලා කියලා මාධ්‍යවල දක්නට ලැබුණා. ඔහු මාක්ස්වාදය, දර්ශනය වැනි විෂයපථය පුළුල් කරන්න වගේම රටේ දේශපාලනික තත්ත්වයන් පිළිබදව සැබෑ සංවේදී බවක් ඇති පුද්ගලයෙක් බව රටම දන්න දෙයක්. පසුගිය කාලය පුරාවටම ඇකඩමියාව තුළ දර්ශනය විෂය හෑල්ලුවට ලක්වෙමින් පැවති සමයක එකී විෂය ගැන විශ්වවිද්‍යාල තුල නමක් රැන්දවූ අධ්‍යනික විද්වතුන් කිහිපදෙනාගෙන් ඔහුත් එක් අයෙක්.

පේරාදෙණියේ මෙආකාරයෙන් වන විට කොළඹ සරසවියෙන් ජනාධිපතිවරයාට මහාචාර්ය පට්ටමක් සහ ආරක්ෂක ලේකම්ට ආචාර්ය පට්ටමක් පිරිනමා තිබුනා. මේ පිළිබදව එක්තරා පුවත්පතක කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්යවරු පිරිසක් දක්වා තිබූ ප්‍රතිචාරය වූයේ අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා හෑල්ලුවට මෙන්ම උපහාසයට ලක්වුවාක් මෙන් මෙමගින් ජනාධිපතිවරයාද උපහාසයට ලක්වීම අනිවාර්ය බවත්, අධ්‍යනික උපාධීන් ඒ ඒ විෂයයන් තුලින් පිටතට ගෙන ඒම අපහාසයක්ද වන බවයි

මේ අතර තවත් නිලනොවන ආරංචි මාර්ග වලට අනුව කැළණියේ ආචාර්ය මර්වින් සිල්වාට කැළණිය විශ්වවිද්‍යාලයෙන් මහාචාර්ය උපාධියක් පිරිනැමීමට කටයුතු සලසමින් සිටින බවටද සැලය. ඓතිහාසික කැළණිය පුරවරයට තමන් විසින් කරමින් සිටින්නාවූ මහගු සේවය නිසාත්, කැළණිය විශ්වවිද්‍යාලයද තමන්ට ඓතිහාසිකව භාරකාරත්වය පමණක් නොව අයිතියද උරුමවූ නිසාවෙන් ‍එවැනි මහාචාර්ය කමකට තමන්ට සුදුසුකම් තිබිය හැකි බව මර්වින් ආචාර්යවරයාගේ මතයයි.

Sunday, August 23, 2009

කාන්තාවකට එළිපිට දඩුවම් - ඇයි ඒ...?

විදෙස් රූපවාහිනී සේවා වලින් ලංකාවට ගැලපෙන ප්‍රවෘත්ති තෝරාදෙන ස්වර්ණවාහිනිය ඊයේ තෝරාගත් ප්‍රවෘත්තියක් වුනේ මලයාසියාවේ කාන්තාවක් මත්පැන් පානය කළ නිසා ප්‍රසිද්ධියේ කසපහර දීමට තීරණය කර ඇතිබවයි.

මතට තිත තියන්නත්, වැඩිහිටියන්ට පමණක් චිත්‍රපටි වැඩිහිටියන්ට තහනම් කිරීමටත් තීරණය කර ඇති ලංකාවට මේක රසවත් ප්‍රවෘත්තියක් බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.

තත්ත්වය කෙසේ වෙතත් මට ඇතිවුණ ප්‍රශ්නේ මේකයි. ලෝකේ වැඩිපුරම මත්ද්‍රව්‍ය, මත්පැන් පාවිච්චිකරන‍්නේ පිරිමියි. මැලේසියාවෙත් තත්ත්වෙ ඊට වඩා වෙනස් කියලා හිතන්න බෑ. එච්චර බහුතරයක් පිරිමි මත්පැන් පාවිච්චි කරදදි ප්‍රසිද්ධියේ කසපහර දීමට කාන්තාවක්ම හොයාගත්තේ ඇයිද යන්නයි.