Monday, November 15, 2010

ප්‍රජාතන්ත්‍රවාදයේ ආශ්චර්ය - දෙවැනි පදවි ප්‍රාප්ති උත්සවයට මිලියන 20යි අවතැන් ලක්ෂයකට මිලියන 20යි


දැන් රටේ සිද්ධ වෙන දෑ පිළිබඳව කුමනාකාරයෙන් ප්‍රශ්ණ කළ යුතුද යන්න ප්‍රශ්ණයකි. රජය විසින් අමු අමුවේ මිනිසුන් පාවාදෙමින් ජනප්‍රියවාදී බැලුLinkම පුම්බමින් සිටින විට ආණ්ඩුවේ කේවට්ටයින්ගේ රැවටිලි වදන් වලට හසුව තවදුරටත් අඳ ගොලු බිහිරි න්‍යායෙන් යුතුව ජනතාව බලා සිටී. පාර්ලිමෙන්තුවේ බහුතර හැතිකරය සම්පූර්ණයෙන් හැඳි ගෑ යා යුතු යැයි ගංවතුරට හසුව පීඩා විඳී ජනයා විසින් ප්‍රාර්ථනා කළ යුතු (එහෙම ප්‍රාර්ථනා නොකිරීම යථාර්ථයයි) තවත් එක් උදාහරණයකි මේ.

රජය හෝ වරාය අධිකාරිය විසින් ප්‍රතික්ෂේප නොකළ මේ ප්‍රවෘත්තියට අනුව ජනාධිපතිවරයා විසින් සිය දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් හම්බන්තොට වරාය දෙවන වරටත් නිලවශයෙන් විවෘත කරනු ලබන උත්සවය වෙනුවෙන් වැය කිරීමට නියමිත මුදල ආසන්න වශයෙන් මිලියන 20කි. මෙම වරාය නිලවශයෙන් විවෘත කිරීම පසුගිය අගෝස්තු මස උත්සවාකාරයෙන් පැවති අතර මේ සිදුකරන්නේ ජනපතිගේ දෙවැනි පදවි ප්‍රාප්තිය වෙනුවෙන් සිදුකරන පුහු මාධ්‍ය සංදර්ශනයක් සඳහාය. තමන්ගේ දිවුරුම් දීම වෙනුවෙන් කිසිලෙසකින් වත් අත්‍යාවශ්‍ය නොවූ මෙකී කාරණයට මෙතරම් වියදමක් දරන්නේ තමන්ගේ හීනමානය වසාගෙන පිම්බීම පිණිස මිස කිසිලෙසකින් වත් ඵලදායී කාරණයක් නිසා නොවේ.

මීට පෙර පැවති වරාය නිලවශයෙන් විවෘත කිරීමේ උත්සවයේදීද දේශාභිමානය සංකේතවත් කරමින් අතිවිශාල පිරිවැයක් යොදන ලද උත්සවයක් සංවිධානය කර තිබුණි. ජාතික හැඟීම කොතෙක් දැනවීමට උත්සාහ කළද සත්‍යය නම් මෙම වරාය සම්පූර්ණයෙන්ම චීන ආධාර මත ක්‍රියාත්මක වීමත්, එහි ඉදිකිරීම් කටයුතු චීන සමාගමක් විසින් සිදුකිරීමත්, එහි කම්කරුවාගේ සිට කාර්ය මණ්ඩලය චීනයෙන් පැමිණීමත්, මෙහි කටයුතු ඇරඹූණු පසු චින සමාගම් විසින් එහි කටයුතු මෙහෙයවීමත්, එහි ලාභය චිනයට ඇදී යාමත්ය.

පසුගිය දා කොළඹ නගරයට වසර 18කට පසු වැඩිම වර්ෂාපතනය වාර්තා විය. කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කයන්හි ලක්ෂයකටත් වඩා වැඩි පිරිසක් අවතැන්ව සිටින බව රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවසයි. එම වෙබ් අඩවිය විසින්ම වාර්තා කරන පරිදි මෙකී පිරිස වෙත වෙන්කොට තිබෙව මුදල් ප්‍රමාණය මිලියන 20කි. බහුතරයකගේ නිවාස, ඇඳුම්, ආහාර වැනි සියළු මූලික අවශ්‍යතාවන් අහිමිව ඇති තත්ත්වයක් තුළ ආසන්න වශයෙන් එක් අයෙකුට වෙන්වන මුදල් ප්‍රමාණය රුපියල් 200කි. මේ එක් දිනක් සඳහා නොව සමස්ත කාලය සඳහාම බව මෙම අඩවි වල සඳහන් දින නිරීක්ෂණයෙන් පැහැදිලි කරගත හැක. මෙය කොතෙක් ප්‍රමාණවත්ද යන ප්‍රශ්ණය ලංකාවේ පරහිතකාමී හිත් වලට කිසිලෙසකින්වත් පැන නොනඟින බව අමුතුවෙන් කිවයුතු නැත.

දෙවන වර දිවුරුම් දීම සඳහා වන උත්සවය වැදගත් වන්නේ කා සඳහාද යන්න සළකා බැලිය යුතුය. එය අගමැති දි.මූ. ජයරත්න හෝ වෙනත් ජේෂ්ඨ ඇමතිවරුන් සඳහා හෝ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් සඳහා සෘජු අවශ්‍යතාවක් නොමැති බව බැලූ බැල්මට පෙනී යයි. එසේනම් එය වැදගත් ‍වන එකම පුද්ගලයා ජනාධිපතිවරයා පමණි. ඔහුගේ කුණු කටු ලෙවකමින් සිටින හිවල් රැලටද මෙය වක්‍ර ආකාරයෙන් වැදගත් වන බවත් පැහැදිලිය.

ඒ අනුව ආසියාවේ ආශ්චර්ය ගමන් කරන ප්‍රජාතන්ත්‍රවාදයේ දිශාව හොඳින් පැහැදිලිය. නොවැදගත් වැඩක් සඳහා එක් පුද්ගලයෙකුට යන වියදම රුපියල් මිලියන 20කි. තමන්ගේ මූලික අවශ්‍යතාවන් පවා අහිමිව සිටින ලක්ෂයක ජනතාවගේ ජිවිතය වෙනුවෙන් වෙන්කරන ලද මුදල රුපියල් මිලියන 20කි.

අපට ඇතිවන සරලම ප්‍රශ්ණය, මේ වියදම් කරන සල්ලි මුන්ගේ(?) අම්මගේ අප්පගේ බූදලෙන්ද යන්න පමණි!!!!

Monday, November 1, 2010

අන්තරේ යක්ෂයාට මුවාවී හොරපාරෙන් ප්‍රතිපත්ති පාවාදීම



දැන් රටේ ප්‍රධානතම ප්‍රශ්ණය බවට පත්ව ඇත්තේ විශ්ව විද්‍යාලීයය ශිෂ්‍යයින්ගේ නොහික්මුණු ගති පැවතුම්ය. ගමේ සිට විශ්ව විද්‍යාලයට පැමිණෙන වැදගත් සිසුන් උදුල් ප්‍රේමරත්න ප්‍රමුඛ අන්තරය විසින් බිලී බා ගන්නා අතර ඉන්පසු ඔවුන් අයාලේ යති. රටේ උපාධිදාරී රැකියා හිඟයට, විශ්ව විද්‍යාල වල විෂයමාලා අන්තර්ගතයන්හි කල් ඉකුත්වීමට, සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ යටිතල පහසුකම් ඌනතාව වැනි සියළු කාරණා සඳහා පමණක් නොව යුද්ධය නිමාවීමෙන් අනතුරුව ආසියාවේ ආශ්චර්ය බවට පත්කරනවා යැයි කටමැත දෙඩවූවත්, රටේ ජනතාවට ආශ්චර්යයක් තබා තඹ දොයිතුවක වත් සහනයක් නොලැබෙන්නේ මෙකී විශ්ව විද්‍යාල සිසු පිරිස නිසාය. එසේනම් රටේ සෞභාග්‍ය අහුරමින්, රට විනාශයට පත්කරනා වූ මේ දුෂ්ඨ පිරිස විනාශ කර දැමිය යුතුය. කොටියා නැතිවූ පසු රටට ඇති හෙනේ රජයේ විශ්ව විද්‍යාලය පද්ධතියේ ශිෂ්‍ය ප්‍රජාවයි.

ජනාධිපති ‍මහින්ද රාජපක්ෂගේ බළල් අතක් බවට පත් ව ඇති ( ඒ සඳහා නියමම සුදුස්සා) සුදුබොංඩා දිසානායකට අනුව අන්තරේ ඇතුළු සංවිධානාත්මක විශ්ව විද්‍යාල සිසු පිරිස විශ්ව විද්‍යාල විනාශයට පත්කර ඇති බවට ප්‍රකාශ වුවද, මේ වන විට විශ්ව විද්‍යාල සිසුන්ට එරෙහිව දියත් කෙරෙමින් පවතින මර්ධනය පිටුපස ඇත්තේ අන් කාරණයකි. කරුණු වශයෙන් ගතහොත්

1. රටේ සමස්ත ‍ජනතාව අතරින් විධිමත්ව ආණ්ඩු විරෝධයක් පැන නැඟීමේ ශක්‍යතාවක් නොමැති වටපිටාවක ඒ වෙනුවෙන් ඉඩකඩ විවෘතව පවතින විශ්ව විද්‍යාල පද්ධතියේ ශිෂ්‍ය නායකත්වය මෙහෙයවන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ලාංකික ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකත්වයෙන් දොට්ට දමා, ආණ්ඩුගැති වරදාන වරප්‍රසාදයන් වලට ගිජු ශිෂ්‍ය පිරිසක් වෙත එකී නායකත්වය පැවරීම.

2. රටේ අභ්‍යන්තර ප්‍රතිපත්තී සහ ජාත්‍යන්තර ප්‍රතිපත්ති අතර දැඩි පරස්පරයක සිටින ආණ්ඩුවට පෞද්ගලීකරණය සංකල්පය ක්‍රියාවට නැංවීමේ ඇති අවශ්‍යතාවත්, එහිදී පැනනඟින වි‍‍රෝධතාව අන් අතකට යැවීම උපක්‍රමයක් ලෙස අන්තරේ වෙත සියළු දෝස්මුර පැවරීම.

අන්තරේ සහ විශ්ව විද්‍යාල ගැන.......

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය යනු මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්කරලීම සඳහා සෘජුව පෙනී සිටි ශිෂ්‍ය සංවිධානයකි. එය විශ්ව විද්‍යාලයන්හි මහා ශිෂ්‍ය සංගම් හරහා පිහිටුවා ගත් සමස්ත විශ්ව විද්‍යාල ශිෂ්‍ය පිරිස එකතු කොට ගත් පළල් සංවිධානයකි. මේ වන විට විශ්ව විද්‍යල බොහෝමයක මහා ශිෂ්‍ය සංගම් වල බලය උසුලන්නේ ජ.වි.පෙ ට සම්බන්ධ ශිෂ්‍ය සංගමය නිසා අන්තරේ තුළද ජවිපෙ බලයක් පවතී. එසේ වූ පමණින් අන්‍තරේ යනු සෘජුවම ජේවීපී කාරයින් යැයි කීම වැරදිය. මන්ද බොහෝ විශ්ව විද්‍යාල වල ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරීන් ජවිපෙ හා සම්බන්ධ නොවූවන් නිසාය. ශිෂ්‍ය අයිතිවාසිකම්, විශ්ව විද්‍යාල පොදු ප්‍රශ්ණ වලදි සිසුන් නියෝජනය කරන හෙයින් එය සමස්ත විශ්ව විද්‍යාල ශිෂ්‍ය පිරිසම නියෝජනය කිරීමට සමත්කම් දක්වා ඇත.

ජාතික වශයෙන් මෙන්ම මතවාදී ස්ථාවර වලදී ද අන්තරේ ජවිපෙට අනුව ක්‍රියාකරන ආකාරයක් දැක ගත හැකිය. මහින්ද රාජපක්ෂ සහයෝගය දක්වන්නේත්, ජාතික ප්‍රශ්ණය අරඹයා 2003, 2004 වසරවලදී දැවැන්ත ‍විරෝධතා දක්වන්නේත් මෙකී ජවිපෙ බලපෑම් නිසාය. අන්තරේ ඇති පසුගාමී භාවය ඉස්මතු කෙරෙන ප්‍රධානතම කාරණය මෙයයි. පක්ෂයක් ලෙස ජවිපෙ තුළ ඇති යාවත්කාලීන නොවූ චින්තනය අන්තරේටත් එ ආකාරයෙන්ම කාන්දු වුවද, ක්‍රියාකාරීත්ව තුලදී දක්වනු ලබන දැඩි කැපවීම, නිර්භීත බව මෙන්ම සංවිධානාත්මක බව විකල්ප බලවේගයක් ලෙස බලය රැකගෙන රැඳී සිටීමට ප්‍රබල හේතුවක්ව පවතී.

ශිෂ්‍යයින් ලෙසත්, දූෂිත නොවූ පුරවැසියන් ලෙසත් සමාජයට මුහුණදීමට සුදානම් වන නවක විශ්ව විද්‍යාල සිසුන් ආකර්ෂණය කරගැනීමට බොහෝ දුරට හේතුවන්නේ ආත්මාර්ථකාමී, අවස්ථාවාදී කරුණු කාරණා නොව සමාජ සාධාරණත්වය, සමානාත්මතාවය පිළිබඳ පෙනී සිටීමේ කරුණු කාරණාය. මේ පිළිබඳව සමාජ මනෝවිද්‍යාත්මක මානය වෙනමම සාකච්ඡා කළ යුත්තක් වුවත්, සරල ලෙසම තේරුම්ගන්නවා නම් බොහෝ දේශීය හෝ විදේශීය විශ්ව විද්‍යාලයන්හි රැඩිකල් ස්ථාවර දරණ ශිෂ්‍ය පිරිස් ශිෂ්‍ය සංගම් මෙහෙයවති. විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරීන් සතුව ඇති එකී ලක්ෂණ වල සාපෙක්ෂ දියුණුව නිසාම බොහෝ සිසු පිරිසක් මේ වෙත ආකර්ශනය වීමේ නැමියාවක් ඇත. විවිධාකාරයේ මනෝවිද්‍යානූකූල ගැටළු නිසා නායකත්වය සොයා යෑම සමාජයේ අන් කාරණාවන්ට පොදු වූවක් නිසා විශ්ව විද්‍යාල ශිෂ්‍ය නායකත්වය පිළිබදව නඟන එම චෝදනාව වැදගත් එකක් යැයි සැළකිය නොහැක.

අනූව දශකයේ සිට පත්වූ සියළු ආණ්ඩු විසින් තමන්ට පක්ෂපාතී ශිෂ්‍ය බහුතරයක් විශ්ව විද්‍යාල වල ගොඩනඟාගැනීමට උත්සාහ කළත් එය අසාර්ථක වුයේ එකී දේශපාලන ක්‍රියාකාරීත්වයන් විසින් ශිෂ්‍යයින්ගේ සැබෑ වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටීමට‍ නොහැකි වූ බැවිනි. සැබැවින්ම මේ වන විටත් ශ්‍රී ලංකා නිදහස් ශිෂ්‍ය සංවිධානයට හෝ එජාපයට අයත් ශිෂ්‍ය කණ්ඩායමට සම්බන්ධවූවන් ගේ ප්‍රධානතම අරමුණ වන්නේ තමන්ට ඉහළ වේතනයක් සහිත රැකියාවක් ‍සොයාගැනීමම පමණකි. පසුගිය දා පැවති සහකාර පොලිස් අධිකාරී තනතුර සඳහා වන සෘජු බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයට පැමිණි නිදහස් ශිෂ්‍ය සංවිධානයේ පිරිසට ‍පොලිසියද දෙකට නැමුණු ආකාරය බොහෝ දෙනෙකුට දැකගන්නට ලැබුණු බවද වාර්තා වේ.

මේ අනුව ගත්කළ අන්තරේට හෝ ජවිපෙට සම්බන්ධ වන කිසිඳු ශිෂ්‍යයෙකු හට ආර්ථික වරප්‍රසාද පිළිබඳව අරමුණක් නොමැති බව පැහැදිලිය. ඔවුන් විසින් ශිෂ්‍යයින්ගේ ගැටළු ගැන පෙනී සිටීම ගැන ශිෂ්‍ය විශ්වාසය දිනාගෙන ඇත්තේ මෙවැනි මූඛ්‍ය හේතූන්ගේ ප්‍රතිඵලයක් නිසා මිස ජවිපෙ ගැන හෝ අන්තරය පිළිබඳව සිය ජාන වලින් පැවත එන හතුරුකම් වලින් යුතු වූවන් කියන්නාක් මෙන් රෙදි හෝදනවාක් මෙන් ඔළු සේදිල්ලක් නිසා නොවේ. එහෙම ඔළු හෝදනවානම් දේශපාලනය කියා දෙයක් මානව සමාජයට අවශ්‍ය නොවේ.


අන්තරේට මුවාවී ප්‍රතිපත්ති පාවාදීම.........

අප සැම දන්නා පරිදි රාජපක්ෂ ආණ්ඩුව විසින් බලය අල්ලා ගැනීම සඳහා ඉදිරිපත් කළ ජනප්‍රියවාදී අදහස් කිහිපයක් විය. ඒ අතර යුද්ධය හා ජාතික ප්‍රශ්ණය හැරුණු කොට තවත් සුවිශේෂී කරුණු කිහිපයක් වේ.

  1. එජාපය විසින් හිස්මුදුනින් පිළිගත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව විසින් නිර්දේශිත නව ලිබරල් වාදී ප්‍රතිපත්තීන් බැහැර කිරීම. මේ අතරට අයත් වන්නේ පෞද්ගලික ව්‍යවසායන් හැකිතාක් දිරිමත් කිරීමත්, රාජ්‍ය හැසරීම හැකිතාක් හකුලා දැමීමත්ය. පෞද්ගලීකරණ විරෝධය හටගන්නේ මෙතැනිනි.
  1. ආර්ථිකය සම්බන්ධයෙන් හැකිතාක් දේශීය නිෂ්පාදන රටාවක් ගොඩනැඟීම හා ආනයන අධෛර්යමත් කිරීම. (මේ වන විට ආනයන බදු ඉහළ දැමීමේදී මෙකී පුහු තර්කය ඉදිරිපත් කිරීමට ආණ්ඩුවේ වීරවංශ හා චම්පික වැනි බත්බැලයින් ඉදිරිපත් වූවද, සංචාරක ව්‍යාපාරය අනාගත ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ආදායම් මාර්ගය බවට පත්කරලීමට දත කන ආණ්ඩුවට ‍තවදුරටත් ජාතික නිෂ්පාදනයට කේනද්‍ර වූ පරිභෝජන රටාවක් යෝජනා කිරීම කොතරම් නොගැලපෙන ක්‍රියාවක්ද යන්න ඉදිරි ලිපියක් තුළදී කතා කරමු)
  1. අධ්‍යාපනය, සෞඛ්‍ය, විදුලිය, ජලය වැනි සුබසාධන විෂයයන්ගේ රාජ්‍ය ඒකාධිකාරය කිසිලෙසකින් වත් අත්නොහරින බවට පොරොන්දුවීම හා එමඟින් බහුතර වෘත්තිය සමිති ප්‍රමාණයක කැමැත්ත එජනිස වෙත අත්පත් කර ගැනීම. (‍්මෙම පොරොන්දුව පුස්සක් බව සත්‍යයක් වී දැන් බො‍හෝ කලක් ගත වුවද ජවිපෙ වෘත්තීය සමිති හැරුණුකොට ඉන් එකක්වත් ජනපතිවරයාගේ සාටකයෙන් එළියට පැමිණියේ නැත. මේ සියළු දෑ සඳහා කපුකම් කළ ලාල් කාන්තගේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයට වැඩපොළවල් වල සිටින ප්‍රධානතම සතුරා බවට පත්ව ඇත්තේ මෙකී වෘත්තීය සමිතීන්ය.)

රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ ජනප්‍රියවාදී තර්කයන්හි යුද්ධය හැරුණු කොට අන් සියල්ල අමූලික බොරු වන තත්ත්වයක් බවට පත් වෙමින් පවතින විට, ජනතාවට එකී සත්‍ය වසන් කිරීම සඳහා සිදුකර ඇත්තේ අවතාරයක් මවා පෑමයි. මේ වන විට අන්තරේ යනු එකී කළු යක්ෂයා බවට පත්කිරීමට ආණ්ඩුවේ මාධ්‍ය හා ආණ්ඩුවට කඩේ යන මාධ්‍ය කටයුතු කරමින් සිටී.

එස්බී දිසානායක පෙනී සිටින්නේ මහින්ද රාජපක්ෂගේ කැමැත්ත වෙනුවෙන් බව සත්‍යයක් වුවද, පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධ කාරණයේදී මහින්ද හෝ ඔහුගේ පරම්පරාවේ කිසිවෙකුත් ඊට සෘජුව මැදිහත් නොවී යන එනමක් නැති බළලෙක් ‍නොව බල්ලෙක් ගේ අතින් කොස්ඇට බාවන ආකාරය ප්‍රාථමික දේශපාලන ප්‍රහසනයක් නොවේද? ලංකාවේ තරුණ ප්‍රශ්ණ වලට ඇලඩින්ගේ පුදුම පහනෙන් පිළිතුරු ලබාදෙන මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ රාජපක්ෂ උපදේශක වූ නාමල් රාජපක්ෂත් විශ්ව විද්‍යාල ප්‍රශ්ණය කර ඇර සිටින්නේ මේ තත්ත්වයට හොඳම උදාහරණය සපයමිනි. ජල බද්ධ, පෞද්ගලීකරණය හා ඉදිරියේදී තවතවත් උග්‍රවන ආර්ථික අර්බුදය තුලදී සුදු චරිත වෙනුවෙන් පණ පොවන රාජපක්ෂ ඇතුළු ඔහුගේ ජීව විද්‍යාත්මක ‍හා ජීව විද්‍යාත්මක නොවන පවුලේ හිතවතුන්ට කළු චරිත මඟහැර සිටීමට යොදන උපක්‍රම කවරාකාර වේද යන්න තවත් හාස්‍යජනක මාලා නාටකයකට හේතුසාධක වනවා නියතය.

එක්පසෙකින් එක්තරා පිරිසකට පමණක් රටේ තීරණ ගැනීමේ අයිතිය ලියා දුන් ලංකාවේ ජහමනයා තවත් අතකින් දෙකයි පනහේ ලංකාවකට ඓතිහාසික උදාහරණ සැපයීමටද අවස්ථාවන් උදාකරලීය. දුටුගැමුණු හෝ පණ්ඩුකාභය කොච්චර පිස්සු කෙළියද ඔවුන් පිළිබඳව හොඳ පමණක් ලියාතැබීම නිසා ‍ඓතිහාසිකව ඔවුන් සුදු චරිත වුවත්, ලියාතැබීමේ අවකාශ බහුල විසි එක්වන සියව‍සය තුළ ලංකාවේ අශිෂ්ඨ, නූගත්, ප්‍රාථමික ජන සමාජය පිළිබඳ තොරතුරු නම් කිසිලෙසකින්වත් ඉතිහාසයට වසන් කිරීමට අවස්ථාවක් නොලැබෙනු ඇත.