Monday, October 18, 2010

9 වසර ට විතරක් පාසැල් ගිය ලංකාවේ ඇමතියා..........


එක් පාසැලක් ඇරෙන විට හිර ගෙවල් 10ක් වැහෙනවා කියලා කතාවක් තියෙනවා. ඒ කියන්නේ උගත්කම වැඩිවෙන‍කොට අපරාධ අඩුවෙනවා කියන එකනේ. ලංකාව රටක් හැටියට අඩු ආදායම් ලබන රටක් වුණත් අධ්‍යාපන මට්ටම අතින් ඉහළ මට්ටමක් පවත්වා ගැනීමට ප්‍රධානතම හේතුව නිදහස් අධ්‍යාපන ක්‍රමයයි. රටේ ආර්ථිකයේ ප්‍රමාණයටත් වඩා අධ්‍යාපන මට්ටම වැඩිදියුණු වීම එක්තරා ආකාරයකට තරුණ අසහනයකට, රැකියා ප්‍රශ්ණයකටත් හේතුවෙලා තියෙන බවත් සඳහන්.

ලංකාවේ අධ්‍යාපනය ගැන මේ විස්තර කියන්න හේතුවුණේ ලංකාවේ එක්තරා ඇමතිවරයෙක්ගේ අධ්යාටපන මට්ටම ගැන අහන්න ලැබුණු නිසයි. මේ ඇමතිවරයාගේ නම ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ප්‍රමාණයක් අරගෙන සංධානයෙන් තේරී පත්වුණේ. මෙයා එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා පැනපු කෙනෙක් කියලා අමුතුවෙන් මතක් කරන්න අවශ්‍යක වෙන එකක් නැහැ.

මේ දවස්වල රාවය පත්තරේ යනවා හිටපු යුධ හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකාගේ පළමු යුධ අධිකරණයේ සාක්ෂි සටහන. එතනදි යූඇන්පීය සමඟ ජනරාල් වරයා සම්බන්ධතා පවත්වපු බවට සාක්ෂි දෙන්නේ, තොරතුරු දෙන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දුයි. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට දීපු කටඋත්තරය ගැන විනිසුරුවරයා දිගින් දිගටම මේ ඇමතිගෙන් ප්‍රශ්ණ කරනවා. ඒත් ඒවට සෘජු පිළිතුරු දීමට ඇමතිට නොහැකි වෙනවා. මේ ගැන දිගින් දිගටම නොසතුටු වන විනිසුරුවරයා එක් අතුරු ප්‍රශ්ණයක් විදිහට ජොන්ස්ටන් ඇමතිගේ අධ්‍යාපනය ගැන අහනවා.

ප්‍රශ්ණය - අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව ට එහෙම කිව්වයි කියලා කිව්වද?

පිළිතුර - මට හරියට මතක නැහැ.

ප්‍රශ්ණය - මහත්මයා මතක නැති දේවල් කොහොමද දැන් මතක් වුනේ? මතක නැති දේවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට කියන්න අමතක වුණු දේවල්?

ප්‍රශ්ණය - ඒ කාලේ මතක නැහැ කිව්වද කියලා එහෙම කිව්වද කියලත් මතක නැහැ.මේක කියන්න මහත්මයා තමුන් කොහෙද ඉගෙනගත්තේ?

පිළිතුර - ශාන්ත ආනා විද්‍යාලයේ

ප්‍රශ්ණය - ජී.සී.ඊ ඕ ලෙවල් පාස් වුණාද?

පිළිතුර - ඒක අදාළ වෙන්නේ නැහැ නේද?

ප්‍රශ්ණය - මොකද අදාළ වෙන්නේ නැත්තේ? තමන් සාක්ෂිකාරයෙක් ව‍ශයෙන් තමන්ගේ මට්ටමවත් මැනගන්න එපැයි අධිකරණයේ විනිසුරුතුමන්ලා. පාස් වුණාද? තමනු මේ හැම එකක්ම මතක නැහැ කියල කිව්වම මට මේ අහන්න මතක් වුණේ..පාස් වුණාද?

පිළිතුර - 9 වසර පාස්වුණා.

ප්‍රශ්ණය - එතකොට ඒ ආශ්‍රයෙන් තමුන්ගේ සාක්ෂිය අපිට මැනගන්න පුළුවන්...ඒකයි"

(2010 ඔක්තෝබර් 10 වැනි දින රාවය පුවත්පත - 14 වැනි පිටුව )

අපිව පාලනය කරන්න අපි (?) පාර්ලිමෙන්තුවට යවලා තියෙන ඇත්තන්ගේ ඇත්ත තත්ත්වය මෙන්න මෙහෙමයි. කොහොමටත් අපේ ඇත්තෝ දියවන්නාවේ හැසිරෙන හැටියට නං මේ ගැන අපිට හිතාගන්න පුළුවන්. ඔබත් දන්න තව කට්ටිය ඉන්නවනම් කියන්න බය නැතුව....(ඇනොනිමස් කෙනෙක් හැටියට)

මුං ටික ඔක්කොමටික ඉස්කෝලෙකට දාලා ආයෙත් 1 ඉඳන් 13 දක්වා ඉගැන්නුවොත් මොකද හිතන්නේ......ජනාධිපති ලේකම් කාර්යාලය හරි, චීන රජයෙන් හරි ආධාර ලබාගන්න අමාරු වෙන එකකුත් නෑනේ...


Monday, October 11, 2010

ෆොන්සේකා, රාජපක්ෂගෙන් සමාව ඉල්ලා ඔහු හා එකතු විය යුත්තේ ඇයි??




පවතින ආණ්ඩුව හොඳ ගේම් කාරයින්ගෙන් යුක්ත වූවක් බව ආණ්ඩුවේ ප්‍රධානතම විරෝධතාකරුවන් පවා විශ්වාස කරන්නකි. මේ ආණ්ඩුවේ හොඳම ගේම් ගැසුවේ ලංකාවේ සමාජයේ හැසිරීම හොඳින් අවබෝධ කොටගෙනය. මේ නිසා විටෙක "විය නොහැකි" දේ යැයි උපකල්පනය කළ දෑ යථාර්තයක් බවට පත්කරලීමට ආණ්ඩුව සමත් විය.


ලසන්ත වික්‍රමතුංග ඝාතනය වන්නේ රජයේ හමුදා විසින් අලිමංකඩ අත්පත්කරගෙන කිළිනොච්චිය අත්පත්කරගැනීමට සූදානම් වන අතරවාරයේය. යුධ විරෝධීන්ට හෝ රජයේ දේශපාලන විරෝධකරුවන්ට එකී ඝාතනය මඟින් ජන මතයක් නිර්මාණය කළ නොහැකි විය. සමාජය දේශපාලන මතයන් දෝලනය වෙමින් පැවති සමයක ප්‍රතිවාදී අපේක්ෂක ලෙස ඉදිරිපත් වූ හිටපු යුධ හමුදාපතිවරයා යුධ හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී ද රජයට එරෙහිව මෙහෙයවීමට උත්සාහ කරනු ලැබූ ජනමතය ක්‍රමයෙන් යටපත් විය.


යුද ජයග්‍රහණයේ පේටන්ට් අයිතිය වෙනුවෙන් තමන්ට තියුණු අභියෝගයක් සිදුකළ පුද්ගලයාට හතර අතින් පහරදීමෙන් අනතුරුව, දැන් ආණ්ඩුව විසින් ඔහු වෙතට යටත්වීමට අවස්ථාවක් ලබාදී ඇත. සරත් ෆොන්සේකාට වසර දෙක හමාරක සිරදඬු‍වමෙන් ගැලවීමේ එකම හා පහසු මාර්ගයක සංඥාවන් ලබා දෙමින් සිටිති. මැයි 18වැනිදායින් පසු එල්ටීටී නිල නොවන නායකත්වය දැරූ කේපී ගේ සිට කරුණා අම්මාන්, විමල් විරවංශ හරහා පබා දක්වා ක්‍රියාත්මක කළ රාජපක්ස න්‍යාය නොහොත් ඇඟ නොරිදී ගොඩ යෑමට අවස්ථාවක් සරත් ෆොන්සේකා හටද අවස්ථාවක් ලබා දී ඇත. ආණ්ඩුවේ වචනයෙන් කිවහොත් "සරත් ‍ෆොන්සේකා ජනාධිපතිවරයාගෙන් සමාව ගත යුතුය". අපේ වචනයෙන් කිවහොත් සරත් විසින් ජනාධිපති ඉදිරිපිට දණ ගැසිය යුතුය. විස්තරාත්මක කිවහොත් සරත්ගේ ආත්ම ගෞරවය රාජපක්ෂ පවුල ඉදිරිපිට පූජා කළ යුතුය.


ආත්ම ‍ගෞරව යන්න පුද්ගලික දෙයක් වුවද, එය සමාජයට සාපෙක්ෂ වූවකි. වර්තමාන ලාංකික දේශපාලන කරළිය දෙස බැලූ විට පෙනී යන කාරණය නම් සරත් ‍‍ෆොන්සේකා විසින් සමාව ගැනීමේ තීරණයකට එළැඹිය හොත් එය සමාජයේ වරදකාරී තීරණයක් බවට පත් නොවනු ඇත. මෙතෙක් කළක් බහුතර රාජපාක්ෂික සිංහල බෞද්ධයින්ගේ හෘද සාක්ෂියට කරදර කළ පිළිලය ‍පියවීම නිසා ඔහුට රාජපක්ෂ යටතේ දැවැන්ත ජනතා ප්‍රතිචාරයක් හිමිවනු ඇත. යූඇන්පීය හා ජවිපෙ විසින් ඔහු වෙත දෝෂාරෝපණයන්ද, ඔහුගේ සැඟව තිබූ අමානුෂික දෑ පිළිබඳවද ප්‍රචාරණය කරනු ඇති වුවද, එය ඔහුගේ කීර්තියට සිදුකරන හානිය අවම වනු ඇත. ඒ වෙනුවට සරත් ෆොන්සේකා සියළු වැරදි වලින් නිදොස් කොට එතැන් පටන් වඩාත් සැපසම්පන්න පුද්ගලික ජිවිතයක් ගත කිරීමට ඉඩකඩ සැලසෙනු ඇත. ෆොන්සේකා විසින් සිදුකළ හානිය දන්නා නිසා ඔහුගේ සාමාජයීය ජිවිතයට නම් අනිවාර්යෙන්ම වැටකඩුළු බැඳීමට ගෝඨා පියවර ගනු ඇත. එහෙත්...කන්න බොන්න, සැප තියේ නම් මොන සමාජයක්ද????


රාජපක්ෂ රෙජීමයට සාපෙක්ෂව ගත් කළ සරත් ෆොන්සේකා විසින් දරණු ලබන අදහස් වල පරස්පර විරෝධීතාවයක් නැත. ඔහුව භාවිතා කරමින් ජවිපෙ විසින් නොයෙකුත් දේශපාලනික අදහස් දැක්වීම් සිදුකළද, පුද්ගලික එදිරිවාදිකම නොවන්නට මහින්ද හා ෆොන්සේකා අතර නොගැලපීම් වලට වඩා ගැලපීම් බහුලය. මේ දෙදෙනාගේ එකතුව දෙදෙනාගේම බැබළීමට හේතුවනවා මිස පරිහානියක් සිදුවීමේ සම්භාවිතාව අල්පය. මේ නිසා ෆොන්සේකා රාජපක්ෂ ඉදිරිපිට දණ ගැසීම, කේපී හෝ වීරවංශ දණ ගැසීම තරම් ඓතිහාසික පාපකර්මයක් වන්නේ නැත.


රාජපක්ෂ හා ෆොන්සේකා එකතු වීමෙන් අපිට ඇති වැඩේ මොකද්ද???


ලාංකික දේශපාලනය මේ වන විට පවතිනුයේ එක්පසෙකට ධ්‍රැවීයකරණය වූ තත්ත්වයක් තුළය. ඒ තුළ නියෝජනය වන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ ඔහුගේ හිතවතුන් පිරිස හා ආණ්ඩුවයි. ඔහු විසින් නියෝජනය කරනුයේ ඓතිහාසිකව ගොඩනැඟුණු සිංහල බෞද්ධ මතවාදයයි. කොතෙක් අවභාවිතාවන් සිදුවුවද, ප්‍රායෝගිකත්ව, දේශපාලනය හා ජනබලය යන සාධක මත සිංහල බෞද්ධ මතවාදයේ නියෝජිතයින් සියල්ල මහින්ද වටා රොක් වී ඇත. එකී දේශපාලන මතය හසුරුවන න්‍යායාචාර්යවරුන්ගේ සිට ‍ඓතිහාසිකව සමාජවිඥානය මඟින් මෙහෙයවෙන සාමාන්‍ය පොදු ජනයාද ඊට හදවතින් එකඟව ඇත. සිංහල බෞද්ධ දෘෂ්ඨිවාදයේ නියෝජිතයා වන මහින්දට එරෙහිව සිටින ප්‍රධානතම සතුරා සාපෙක්ෂව ගත් කළ සරත් ෆොන්සේකාය. ඔහු නියෝජනය කරන්නේද මතවාදයක් ලෙස ගත් කළ සිංහල බෞද්ධ දෘෂ්ඨිවාදයයි. (යූඇන්පීය තුළද මේ වන පවතින ප්‍රතිසංවිධාන යෝජනා තුළද වඩා ඉදිරියෙන් සිටින සජිත් ප්‍රේමදාස ද නියෝජනය කරනුයේ පාර්ශවයයි.)


බූන්දියේ පළවූ කමෙන්ටුවක නිර්මාල් රංජිත් විසින් ප්‍රකාශ කරනවා යැයි සඳහන් කොට තිබුණු රාජපක්ෂ රෙජීමය අවසන් වීමට නම් තවත් අවුරුදු 15ක් ගතවනවා යන්න අප සත්‍යයක් යැයි උපකල්පනය කළහොත් අවුරුදු 15කට පසුව නැවතත් බලයට පැමි‍නීමට ඉඩකඩ ඇත්තේ තවත් සිංහල බෞද්ධ ජාතිවාදියෙකුය. එම ලේබලය යටතේ ගතහොත් මහින්දට වඩා ෆොන්සේකා අන්තගාමීය. එසේ වුවද ජනමනස ෆොන්සේකා කේනද්‍රකොට ස්ථාපනය කරන්නට උත්සාහ කරන ජවිපෙ ඇතුළු පිරිස් විසින් සිදුකරන්නාවූ බලමුළු ගැන්වීම් මතින් වසර 15කට පසුව වුවද බිහිවීමට ශක්‍යතාවයක් ඇත්තේ තවත් අන්තවාදී ප්‍රජාතන්ත්‍ර විරෝධියෙක් නම් වර්තමානය ඊට වඩා යහපත්ය. එසේ නම් අනාගතයේ පවතින බලාපොරොත්තුව කිළිටි කරනවාට වඩා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහින්ද රෙජීමය හා එකතුවන්නේ නම් පවතින මජර දේශපාලන ක්‍රමයේ සැබෑ සතුරන් එකවිට හඳුනාගැනීමට පහසුවනවා පමණක් නොව දුෂ්කර ලෙස හෝ වඩාත් සාධනීය නායකත්වයක් බිහිකරගැනීමට විකල්ප දේශපාලනයට හැකියාවක් ලැබෙනු ඇත.


ජවිපෙ විසින් ෆොන්සේකාගේ බර අදිනු ඇති බව ගෝරා අනාවැකි පළකළේ සිද්ධි වීමට බොහෝ කළකට පෙරය. දැන් සිද්ධ වන ආකාරයට ජවිපෙ අනාගත වකෘවරයා ජනරාල් ෆොන්සේකාය. පහළ පෙළ ජවිපෙ පාක්ෂිකයින්ගේ රෝහණ විජේවීරගේ දෙවන ආත්මය දැන් පැමිණ ඇත, ඔහුට සම්පූර්ණ කළ නොහැකි දෑ ජනරාල් විසින් සම්පූර්ණ කරනු ඇත.


මේ අනුව නොදන්නා ගමන් ඒමෙන් ජනරාල් ෆොන්සේකා සිදුකරගත් වරද දැන්වත් නිවරැදි කරගත යුතුය. ඔහුට අයිති ඔහුගේ පැත්තට ඔහු යා යුතුය. ඒ පැත්තේ පිරිස් මෙහෙ අය මෙන් සමානාත්මතාවයක්, සහජිවයක් කතා නොකරයි. ඔහු කැමති ලෙස යුධ හමුදාවේ මෙන් උස් පහත් බේදයන් සමාජය තුලද පවත්වාගෙන යෑමට අවශ්‍ය දෘෂ්ඨිවාදයම ඒ පැත්තේ ඇත. කරන්නට ඇත්තේ අවශ්‍ය විටෙක මාධ්‍ය ඉදිරිපිටට පැමිණ කොළයේ ලියා දෙන වචන ස්වල්පය කියවීම පමණි. ජෙප්පන් විසින් ලියාදෙන නොදන්නා වචන මෙන් නොව දෙමළාට එරෙහිව, සාමාන්‍ය ජනයා මර්ධනයට ලියැවුණු භාෂාවෙන් ලියැවුණු කරුණු ෆොන්සේකාට පැටලෙන්නේ නැතිව කියාගත හැකි වනුද ඇත.