Monday, January 4, 2010

ජැක්සන්ගේ සුදු‍කොඩිය හා වරදකරුවන් පෝරකයට දැක්කීම


ජැක්සන් ඇන්තනිගේ හීනමාන පුරාවෘත්තය හෙවත් "අබා" හි පණ්ඩුල බ්‍රාහ්මණයා අභය කුමාරයා සිටින දොරමඩලාව ගම්මානයට පැමිණේ. කෙළිදෙලෙන් කල්ගත කරන අභය කුමාරයා ඇතුළු කොළු රෑන පණ්ඩුල බ්‍රාහ්මණයා හා පිරිස පැමිණෙන දෝලාවට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වෙයි. ඇමරිකාවටත් යුධ නීති ඉගැන්නූ ලංකාවේ මිලිටරි පරම්පරාවේ ආරම්භකයින් වන පණ්ඩුල බ්‍රාහ්මණයා විසින් තමන්ට එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වන්නේ දෝලාවෙන් එළියට සුදු‍කොඩියක් පෙන්වා "සාමය" යැයි ප්‍රකාශ කිරීමෙනි.


කලාව බල්ලට දමා දේශපාලන වේදිකාවේ අර්ශස් හැදෙන තුරු ෆොන්සේකාගේ "මහා පාවාදීම" වෙනුවෙන් කෑගහසන ජැක්සන් ඇන්තනිට හෝ රවීන්ද්‍ර රන්දෙණියට මෙකී ‍ඓතිහාසික යුධ සම්ප්‍රදාය ගැන අංශුමාත්‍රයක් වත් මතක නැති සෙයකි.


සහෝදර හොර මුලේ රෙදි හෙදීමට ‍‍ඉතිහාසය පවා නිර්ලජ්ජිතව පාවාදෙන ජැක්සන්ට තමන්ගේ බිරිදවත් අමතකව ඇති නිසා මේවා ගැන එතරම් පුදුම වියයුතු නැත.


ෆොන්සේකා විසින් කියායැයි කියන (මීට පෙර මෙම කතාවම මුලාශ්‍ර රාශියකින් ඉදිරිපත් කොටඇත. උදා- ඩී.බී.එස් ජෙයරාජ්, මානව හිමිකම් සදහා යාපනය විශ්වවිද්‍යාල ආචාර්ය වරු) සුදු‍කොඩි රැගෙන ආ කොටි නායකයින් ඝාතනය කළ කතාව බොරු යැයි ‍මන්දිර වලට කෑදර දේශප්‍රේමියෝ හෝ චීවරදාරීන් පවසන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් ගේ චෝදනාව වන්නේ එය යුධ රහස් ‍හෙළිකිරීමක් බවත්, පාවාදීමක් බවත්ය. ඒ අනුව වක්‍රාකාරව මෙකී දෙපාර්ශවයම සුදු කොඩි රැගෙන ආ පිරිස ඝාතනය කළ බව පිළිගනී.


මෙකී ප්‍රකාශය දේශපාලනිකය. එය පාවාදීමක් හෝ රහස් එළිකිරීමක් වන සාදාචාරාත්මක නොවන දෙයක් බවට පත්වන්නේ එකට කාපු බීපු අයටය. එකට රත්තරං බෙදා නොගත් ප්‍රතිපත්තිමය වශයෙන් යුද්ධයට එරෙහි අපට අනුව වරදක් සිදුකළ බව හා ඊට සාක්ෂි ලැබී ඇත. දැන් රට ලේ විලක් කළ, තවදුරටත් එසේ කරමින් සිටින පිරිස් ඊට වන්දි ගෙවිය යුතුය. ඒ වෙනුවෙන් ගැලපෙන දඩුවම් ලබා දිය යුතුය. කොටින්ට ගහන්න චීනයේ සහ ඇමරිකාවේ මෙන්ම ඊශ්‍රාලයේ සහ ඉරානයේ අවිත් භාවිතා කළානම් මෙකී ඓතිහාසික වරදකරුවන්ට දඩුවම් දෙන තැන ගැන එතරම් සිතිය යුතු නොමැත.


වැඩේ වෙන ‍කොට තමන් රටේ හිටියෙ නෑ කියා සුදු රෙදි පොරවාගන්නට කාටවත් නොහැක. මොන දිවියලෝකෙ හිටියත් තමන්ගේ වගකීම ඇති තැන ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතුය. බලයට කෑදර වී කටවරද්දා ගැනීමේ දේශපාලනයේ රස කවුරු කවුරුත් විදිය යුතුමය.