Wednesday, June 30, 2010

බෑන්කී මූන්ගේ නියෝජිතයින් හා අන්තයන් ද්විත්වය


එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් ලංකාවේ ආණ්ඩුවටම පිදුරු ගහක් සපයා ඇත. එල්ටීටීය බිඳවැටීමෙන් පසු හතුරෙක් හොයාගැනීමේ අපහසුතාවයෙන් පෙළුණු ආන්ඩුව මහත් අපහසුතාවයකට පත්විය. කොටින්ම ආණ්ඩුවට තමන්ගේ මතවාදී හිතවතෙකු වන සරත් ‍ෆොන්සේකාව කෘතීම හතුරෙක් බවට පත්කිරීමට සිදුවිය. ඇත්තටම දෙයක් නොකර ගසා කමින් ජීවිත් වන ආණ්ඩුවට ජනතාව රැවැට්ටීම සඳහා කුමන හෝ උපාය මාර්ගයක් අවශ්‍යය. ඒ සඳහා පොදු හතුරෙකු අනිවාර්යෙන් අවශ්‍යය.

දැන් ආණ්ඩුවට රටේ ඇති සැබෑ ප්‍රශ්න අමතක බෑන් කීන් මූන්ට එරෙහිව නාමිකව, ජනප්‍රියවාදීව කටයුතු කළ හැකිය. ‍රටේ බඩුමිළ, ජිවන තත්ත්වය, විරැකියාව, ආර්ථික අර්බුද සියල්ලට නිදහසට හේතුව ලෙස "බැන්කී මූන්"ව ඉදිරිපත් කළ හැකිය.

මධ්‍යස්ථව ගතහොත් මෙය ඉතා සුවිශේෂී තත්ත්වයකි. එක් පසෙකින් ඒකාධිපති වියරුවක් සහිත පාලකයෙක් සදහටම රට තමන්ට ලියාගැනීමට ‍සැරසෙයි. ඔහුගේ මේ ඒකාධිපතිබාවයට විරුද්ධ විය යුතුය. අනෙක් පසින් තුන්වැනි ලෝකයේ රටක් ලෙස බටහිර රටවල් අපේ රටවල් වලට නාස්ලණුව දැමීමට සැරසෙයි. මෙකී තත්ත්වයන් දෙකම අන්තයන් දෙකකි.

මේ මොහොතේ අපි ඉතා අවධානයෙන් කටයුතු කළ යුතු අතර වඩා නිවරැදි තීරණය ඉතිහාසය විසින් සම්මත කෙරෙනු ඇත. මේ උත්සාහය ඒ වෙනුවෙන් සාධනීය සංවාදයක් ගොඩනැඟීමටයි.

Monday, June 28, 2010

මහාචාර්ය ජගත් වීරසිංහත් රාජපක්ෂ තුරුලටද??


දැන් ලංකාව ශුද්ධ වූ ඒකීය රාජ්‍යයකි. එහි එකම නායකයා පර්සි මහේන්ද්‍ර රාජපක්ෂය. මෙහි පවතින එකම මතවාදය රාජපක්ෂවාදයයි. සුවිශේෂීත්වය නම් මෙකී මතවාදය නියෝජනය කරන්නන්ගේ ඇති විවිධත්වයයි. එක් පසෙකින් මාක්ස්වාදය, ට්‍රොස්කිවාදය, පශ්චාත්නූතන වාදය අදහන පිරිස් සිටියදී ඔවුන්ට සම්පුර්ණයෙන් ප්‍රතිපක්ෂ ජාතීවාදී, වර්ගවාදී, සිංහලනාසිවාදීන් අනෙක් පසින් සන්නද්ධව ඇත. අනෙක් පැත්තෙන් සියළු නළු නිළියන් මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද බොහෝමයක් ඇතුලත්ය.

රාජපක්ෂවාදය එක් පසෙකින් ලංකාවේ සාමාන්‍ය ජනයාගේ ජීවන මට්ටම අපහසුතාවයට ලක්කරන ගමන්ම අනෙක් පසින් රෙජීමයට විරුද්ධ පිරිස් අවශෝෂණය කරගනිමින් සිටියි. යුද්ධයට පක්ෂ වූවන් මුලින් ආකර්ෂණය කරගත් ඔවුහු යුධ විරෝදීන්ද තමන් දෙසට නම්මවා ගනිමින් සිටියි.

මීට ආසන්නතම නැමියාවක් දක්වමින් සිටින්නේ මෙරට ප්‍රකට චිත්‍ර හා මූර්ති ශිල්පියෙකු මෙන්ම පශ්චාත් පුරාවිද්‍යා අධ්‍යයතන ආයතනයේ අධ්‍යක්ෂක මහාචාර්ය ජගත් වීරසිංහය. ඔහු විසින් රාජපක්ෂකරණය වී ඇති බවට සෘජු සාක්ෂි නැතත් පසුගිය දින වල ඔහු විසින් දිගින් දිගටම ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති හා සම්බන්ධ වූ අතර ජනමතය හසුරුවන වැඩසටහන් වලද පෙනී සිටියි.

සාමය වෙනුවෙන් ස්ථාපිත වූ ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන ජාලයේ චිත්‍ර හා මූර්ති ශිල්පය හා සබැඳි ප්‍රබලතම රාජ්‍ය නොවන සංවිධානය හා කලා එකතුව වන තීර්ථ කලා එකමුතුව හරහා සාමය විකිණූ ඔහු යුද්ධය හා ජාතිවාදය, වර්ගවාදය තම ධර්මය කරගත් රාජපක්ෂ හවුලේ සෘජු ප්‍රකාශකයා වන ජාතික රූපවාහිනිය හා සම්බන්ධ වන්නේ කෙසේද යන්න ගැටළුවකි.

කලාව සම්බන්ධයෙන් මහාචාර්ය ජගත් වීරසිංහ හට අභියෝග කිරීමක් මෙහිදී සිදුනොවුනත් ඔහු විසින් ලංකාවේ යුද්ධය භාවිතාවෙන් රැස්කරගත් මුදල් (ලංකාවේ යුද්ධයක් නොතිබුණේ නම් හෝ ඔහු සාමය වෙනුවෙන් පෙනී නොසි‍ටියේ නම් මෙකී මුදල් නොලැබෙන බව අනිවාර්යයකි) වල වත් ගෞරවය නොතබා ලද අවස්ථාවෙන් රාජපක්ෂ හා එක්වන්නේ නම් ජගත් වීරසිංහ යනු කොතරම් දක්ෂ කලා ශිල්පියෙකු වුවද ඔහුගේ මනුෂ්‍යත්වය පිළිබඳව ප්‍රශ්ණාර්ථයක් හටගනී.

ජගත් වීරසිංහ කොතෙක් දුරට රාජපක්ෂ වෙනුවෙන් පෙනීසිටීද යන්න කිව නොහැක. අවශ්‍ය නම් තමන්ගේ පොරටෝක්, න්‍යායාත්මක මතවාද තබාගනිමින් රාජපක්ෂගේ පිට කස කසා සිටි‍මේ තෝරාගැනීමක්ද රාජපක්ෂවාදය තුල ඇති නිසා ඒ හා එක්වීමට එතරම් අපහසු වන්නේ නැත. අභියෝගය නම් කිසිඳු ලාභ ප්‍රයෝජනයක් නොගනිමින් (එන්ජීඕ වලට නොවිකුණමින්) සැබෑ මනුෂ්‍ය වර්ගයාගේ උන්නතිය උදෙසා පෙනීසිටීමට අවශ්‍ය හෘද සාක්ෂිය ආරක්ෂාකර ගැනීමයි.

Tuesday, June 15, 2010

යාපනේදි අන්තරේට පහරදීලා - ඇත්තද???




ජීවිතේ තියෙන තරඟකාරිත්වය ගැන කාරුණික වුණු අපේ දානපතීන් දැන් අපිට පත්තර කියවලත් දෙනවා. වෙන කරන්න දෙයක් නැති හින්දා අපිත් ඉතිං ඒක අහගෙන ඉන්නවා. ඒත් ඉතිං ක්ෂණික දේවල විෂ සහිත දේ අන්තර්ගත විය හැකි බවට ආහාර වලින් ගොඩාක් උදාහරණ තියෙනවා. ඒ වගේ දෙයක් තමයි පත්තර කියවලා දෙන " මුල් පිටුව". බන්දුල පද්මකුමාර අපිට පත්තර කියවන ගමන් විෂසහිත දේවළුත් ඇතුල් කරන්න පසුබට වෙන්නේ නැහැ. ඇත්තටම එතුමට ලේක්හවුස් පට්ටම හම්බවෙන්න ‍හේතු තියෙන්නත් ඕනනේ.....

පද්කුමාර හෙවත් මල්කුමාරයා සාමාන්‍යයෙන් මුලින්ම කියවන්නේ අග්නිදිග ආසියාවේ වැඩිපුරම අලෙවිවන පුවත්පත "දිනමිණ". අපි හැමෝමත් බොහෝම ආසාවෙන් අහන්න කැමැති පුවත් තියෙන එකේ උදේ පාන්දරම මල්කුමාරයාගේ මෑණියන් වහන්සේ මතක්වෙනවා මිසක් ඊට වැඩි දෙයක් වෙන්නේ නැහැ.

කොහොමහරි මම කියන්න ආවේ අද උදේ පළවුනු නිව්ස් එකක් ගැන මගේ අදහසක් දක්වන්නයි (මේ නිවුස් එක පත්තරේ තියෙනවා මම දැක්කේ නැහැ.. හැබැයි ඇහුවා)

"දේශපාලන කිරීමට යාපනය විශ්වවිද්‍යාලයට ගිය අන්තරේ (අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය) ට යාපනයේ විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය ප්‍රමුඛ සිසුන් පහරදී පන්නා දමති. තම විශ්ව විද්‍යාලයට දේශපාලනය අනවශ්‍ය බවත්, විෂ පෙවීමට එන පිරිස් ඔවුන් විසින් පන්නා දමා ඇත" මෙම පුවත බොරුවක් බව ලංකාටෲත් ඔස්සේ උදුල ප්‍රකාශ කර ඇත.

එක්පසෙකින් මෙය පට්ටපල් බොරුවකි. දකුණේ විශ්වවිද්‍යාල වල පිරිස් දේශපාලනයැයි කියා තමන්ගේ අනෙක් ෆැකල්ටියේ එවුන් සමස්ත ලෝකයේම හතුරා බව සිතමින් ක්‍රියාකරන විට යාපනයේ විශ්වවිද්‍යාල සිසුන් වඩා පුළුල් දේශපාලන පිලිවෙතක් වෙනුවෙන් පෙනීසිටියෝය. ඔවුන් විසින් ඒ වෙනුවෙන් පොලොව මත කැපකිරීම කළහ. එහෙව් එකේ යාපනය විශ්වවිද්‍යාලයට අන්තරේ දේශපාලනය ඉගැන්විය යුතු නැත.

අනෙක්පසින් අන්තරේ ප්‍රහාර එල්ලකිරීමට යාපනයේ විශ්වවිද්‍යාල සිසුන්ට පැහැදිලි අයිතියක් ඇත. වර්ගඝාතක යුද්ධයකට උඩගෙඩි දෙමින් රට අන්තවාදයකට ගෙනයාමට ජවිපෙ සමඟ ඔවුන්ද පෙනී සිටියහ. ඔවුන් අන්තරේට පහරදිය යුත්තේ ඒ හේතුව නිසා මිසෙක "දේශපාලනය " නිසා‍ නොවේ.

ලංකා‍ව හූරාකන ආණ්ඩුවේ බත්බැලයින් ලංකාවේ ජනතාව දේශපාලනය කරනවාට කිසිම කැමැත්තක් නැත. මන්ද එවිට ඔවුන් පාලකයින්ගෙන් ප්‍රශ්ණ ඇසීමට පෙළඹෙන නිසාය. මේ නිසා දිවයින කතෘතුමගේ සිට ලක්බිම පත්තර ලොක්කා දක්වා ශිෂ්‍යයින් දේශපාලනයෙන් ඈත්කරවීමට බළල් අතක් ලෙස පාවිච්චි වෙති. කුමන දුර්වලතා, නොහැකියාවන්, පසුගාමී තත්ත්වයන් තිබුනත් තවදුරටත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ දේශපාලන අනන්‍යතාව පවත්වා ගැනීම ගැන අප අන්තරයට ස්තූතිවන්ත විය යුතුය.

වර්ගවාදයට උඩගෙඩි දුන්නද මේ වන විට අන්තරේ විසින් තමන්ගේ දේශපාලන ක්‍රියාමාර්ග වෙතට ‍දමිළ ශිෂ්‍යයාද එක්කරගැනීමේ උත්සාහය පැසසිය යුතුය. සමාජවාදී ශිෂ්‍ය සංගමය මෙන්ම අන්තරේ ඒ වෙනුවෙන් වූ තමන්ගේ නැමියාව මේ වන විට ප්‍රමාණවත් තරමින් පෙන්වාදී ඇත.

එක්පසෙකින් ශුද්ධ වූ දේශපාලනයක් අදහන්නන් ජවිපෙ අතීත ක්‍රියාකාරකම් දෙස බලා ඔවුන්ගේ සාධනීය එලැඹුම් නොසළකමින් සිටින විට අනෙක්පසින් සමස්ත සමාජයේ පොදු හතුරා අප සමාජයේ සියළු දේශපාලනික එළැඹුම් විනාශකිරීමට උත්සාහ දරමින් සිටී. අපට වඩාත් සමීප එහෙත් යම් වැරදි ඇති පිරිස් හා එක්ව කටයුතු කරමින් අප සැමගේ පොදු සතුරා වෙත සාමූහිකව පහරදීමට අප විවෘතවන්නේ නම් එය වඩාත් කාලෝචිතය.

Sunday, June 13, 2010

කලකට පස්සේ - "ඃලංකා ඉතිහාසයේ තීරණාත්මක කාලපරිච්ඡේදයක්"


පිංතූරය - http://www.bbc.co.uk/totp2/features/wallpaper/images/1024/madness.jpg

දීර්ඝ කාලීන නිහැඬියාවක්......... බ්ලොග්කරණය කියන මාධ්‍යයට ලංකාව වගේ රටක තියෙන අනන්තවත් සීමාකම් තියෙනවනේ, අපේ ජීවිත වලටත් ඒවා බලපානවා. ඒත් මේක දාලා යන්න හිත හදාගන්න බෑ...මාස 03කින් අප්ඩේට් නොකරොත් එහෙන් අයින් කරා, මෙහෙන් අයින් කරා කියන අවදානම හින්දා තමයි මේ සටහන ‍ලියන්නෙත්.

පසුගිය කාලේ මෙන්ම මේ අපි ගෙවමින් ඉන්න කාලසීමාවත් ලංකා ඉතිහාසයේ තීරණාත්මක කාලපරිච්ඡේදයක් වෙයි කියලා ලේඛකයට විශ්වාසයක් තියෙනවා. ඒකට කරුණු කාරණා ගොඩාක් තියෙනවා.
  1. ඉදිරියේ පැවැත්වෙන ව්‍යවස්ථා සංශෝදනයෙදි එක් පුද්ගලයෙක්ට ජනාධිපතිවරයෙක් වීමට ඇති සීමාකම් ඉවත් කිරීමක් සිදුවේවි.
  2. මැදමූලන අශිෂ්ඨ ප්‍රසිද්ධ හැසිරීම ලංකාවේ රාජතාන්ත්‍රික පෙනීසිටීම බවට ජාත්‍යන්තරව සංකේතවත් වීම.
  3. ලංකාවේ පිම්බුන ආර්ථික වර්ධනය නම් බෑලූනයට විසඳුමක් හැටියට ගැනෙන්න පුළුවන් සමාජ ආර්ථික ක්‍රියාවලියක් යෝජනා නොවීම හරහා අතිරික්තයෙන් වන පීඩනය තව තවත් උග්‍රවීම.
  4. රාජපක්ෂවරු නොවන සියල්ලන්ට ආණ්ඩුවේ අනන්‍යතාවක් හිමි නොවන හෙයින් ඔවුන් තමන්ගේ ගොඩ වැඩිකරගැනීමේ ක්‍රියාදාමයකට අවතීර්ණ වීම.
  5. උතුරේ ප්‍රශ්ණ "ගසාකෑම" හා බලය යොදවීම වගේ කාරණා හරහා විසඳන්නට හදනාවා මිසෙක, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයකට නොයෑම නිසා තව දුරටත් කුණු වීම...
ප්‍රශ්ණ ව‍ශයෙන් ගත්තොත් ඉතා දීර්ඝ වැලක් තියෙනවා.
ඉදිරියේදී අපි මේවා එකින් එක අරගෙන කතා කරමු.