Saturday, December 25, 2010

අසංවේදී සමාජයක අපරාධය සහ දඬුවම


රන් බඩු කොල්ලයක් සිදුකළ කල්ලියක සැකකරුවන් සය දෙනෙකු පොලීසියේ සහ හමුදාවේ වෙඩිපහරට ලක්ව මිය ගිය බව දිනපතා පුවත්පත් සෑම එකක්ම වාර්තා කොට තිබිණි. "වෛරය වෛරය නොසංසි‍ඳේ- අවෛරයෙන් වෛරය සංසි‍ඳේ" යන බොදු වැකිය තඹයකට නොසළකමින් තමන්ගේ අනෙකා බැහැර කොට විනාශ කිරීමේ ජාතික පුරුද්ද ක්‍රියාවට නංවමින් කිසිඳු ස්ථානයක ‍රජයේ ආරක්ෂක අංශ වෙඩි පහරින් මිය ගිය පුද්ගලයින් පිළිබඳ සානුකම්පිත අදහසක් එළි දක්වා නොතිබිණි. මෙකී සැකකරුවන් අතින් මියගිය පොලිස් නිලධාරීන්ගේ පවුල් වල ශෝකාලාපී ස්වරූපයන් පමණක් මාධ්‍යයන්ගේ සානුකම්පිත කැමරා වල සටහන්ව තිබුණි.
රටේ සිදුවන අපරාධ වෙනුවෙන් සැක පිට අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් කුමක් හෝ කාරණයක් ඉදිරිපත් කරමින් මරා දැමීම ලංකාවේ පොලීසිය විසින් කාලාන්තරව පවත්වාගෙන ආ පුරුද්දකි. මෙය කෙතරම් විවෘත ප්‍රතිපත්තියක් ද යත් ඒ වෙනුවෙන් භාවිතා වන එකම බොරුව "සැඟව තිබූ ආයුධ පෙන්වා දීමට ගොස්, පොලීසිය වෙත ආයුධ එල්ල කළ නිසා" ආත්ම ආරක්ෂාව උදෙසා පොලීසිය වෙඩි තැබූ බවත් එමඟින් සැකකරු මියගිය බවත්ය. සමාජය විසින් එකී මනුෂ්‍ය ඝාතනයන් සාධාරණීකරණය කර තිබීමත්, ඒ පිළිබඳව සාමාජයීය විරෝධයක් හට නො ගැනීමත් නිසා තව දුරටත් පොලීසිය විසින් මෙකි කැලෑ පොලිස් ක්‍රියාකාරකම් සිදු කරමින් සිටින බවට ආසන්නතම උදාහරණය පසුගිය සතියේ වාර්තා වුණි.

මනුෂ්‍යය ජිවිතයක් කවර දෑකටත් වඩා උතුම්ය. මිනිස් ජිවිතයක් විනාශ කරලීම ලොව පවතින දරුණුතම වැරැද්ද බවට පත්ව ඇත්තේ එහෙයිනි. කවර සමාජයක වුවද ඊට හිමිවන දඬුවම දැඩිය. අයෙකු සදාචාර රීතින්ට මෙන්ම නීතියට ද එරෙහිව යමින් කටයුතු කරන විටෙක, ඊට එරෙහිවන නීතිය හා එය ක්‍රියාවේ යොදවන පිරිස එකී නීති රීති පද්ධතියට පටහැනිව ක්‍රියාකරන්නේ නම් එකී ඔවුන්ද වරදකරුවෙන් වන බව අමුතුවෙන් කිවයුතු නොවේ. නීතියේ දැලින් රිංගා යාමට තර්කයක් සොයා ගෙන ලංකාවේ පොලිසිය විසින් මේ සිදු කරමින් සිටින්නේ නීතිය පිහිටුවීම සඳහා කැලෑ නීතිය ක්‍රියාත්මක කිරීමය. මෙසේ සිදු කිරීම මත රටේ දේශපාලන ක්‍රමය, ප්‍රජාතාන්ත්‍රික භාවිතයේ ඇති උත්තරාරෝපිත බව මැනවින් ඉස්මතු වේ.

මිනිසා යනු සාමාජයීය සත්ත්වයෙකි. ඔහු හෝ ඇය විසින් සිදුකරන සෑම දෙයකටම පාහේ වැඩිම බලපෑමක් සිදුකරන්නේ සමාජය විසිනි. කිසියම් අයෙකුගේ ක්‍රියාකාරකමක් සිදු කීරිමට ඔහු හෝ ඇයගේ සමාජ අත්දැකීම් මෙන්ම ඒවා සංජානනය කරගත් ආකාරය සෘජු බලපෑමක් එල්ල කරනු ලබයි. ඒ අනුව පුද්ගලයින් විසින් සිදු කරන්නා වූ ක්‍රියාකාරකමක් හුදු පුද්ගල ක්‍රියාකාරකමක් පමණක් නොව සාමාජයීය ක්‍රියාකාරකමක් ද වන්නේය. එනයින් ගත්කළ සමාජයක සිදු වන හොඳ හෝ නරක සියළු ක්‍රියාකාරකම් සඳහා සමාජය ද සැළකිය යුතු වගකීමක් දැරිය යුතු ය.

කිසියම් අපරාධයක් වෙනුවෙන් සැක කටයුතු ලෙස අත්අඩංගුවට පත්වන පුද්ගලයා එක් පැත්තකින් සාධාරණ නඩුවිභාගයකට පෙනීසිටීමට ඇති අයිතිය ඇත්තා වූ අයෙකු ‍වනවා පමණක් නොව එකී ක්‍රියාකාරකම සඳහා සමාජයද යම් ප්‍රමාණයකින් වගකිව යුතුය. රටේ ජනප්‍රිය තලයේ අපරාධ වලට වැරදිකරුවන් යැයි සැක කෙරෙන පුද්ගලයින් මරා දැමීම මඟින් පොලීසිය විසින් සිදු කරනු ලබන්නේ පාලනතන්ත්‍රයේ ඇති ගෝත්‍රික ලක්ෂණ එළිපිට දැක්වීමක් මිස අන් කිසිවක් නොවේ.

ප්‍රමාණාත්මකව හා ගුණාත්මක වශයෙන් වෙන් වෙන්ව ගත්ත ද රටට වඩාත් දරුණු ලෙස බලපාන වැරදි සිදු කරන්නේ සාමාන්‍යය ජනයා නොවන බව සියල්ලන්ම දැන සිටිය ද, එය සාමාන්‍යයකරණය කර තිබේ. රටේ සමස්ත අනාගත මිනිස් පරම්පරාව බිල්ලට දෙමින් තෝරා ගත් පිරිසක් සැප විඳින විට, දේශීය සම්පත් විදේශයන් වෙත කුණු කොල්ලයට විකුණන විට, රටේ නීතිය හෝ පොලීසිය පමණක් නොව සාදාචාරාත්මක දෘෂ්ඨිකෝණයෙන්වත් එකී බලවත් පුද්ගලයින්ට එරෙහි වන ආකාරයක් දක්නට නොමැත. එනයින් ගත් කළ ප්‍රධානතම සොර දෙටුවන් නීතිය ඉදිරියට පැමිණවීමටවත් ක්‍රියා නොකරන විට සාමාන්‍ය මිනිසෙකුගේ ජීවිතය පිළිබඳව මීට වඩා කල්පනා කිරීමට රටේ ආරක්ෂක අංශ විමසිලිමත් නොවීම ඛේදනීය තත්ත්වයකි.

රටේ වැරදිකරුවන්ගේ ජීවිත තිරිසන් ජිවිතයක් තරම්වත් මායිම් නො කරන විට පසුගිය කාලයේ පැවති අතිබිහිසුණු යුධකාලයේ ක්‍රියාකාරීත්වය කෙසේ වන්නට ඇද්දැයි යන්න සිහිකිරීම පවා භයානක ය. චැනල් 4 නාළිකාව හා සිදු කෙරුණු සජීවි දර්ශන පට මෙන්ම සුදු කොඩි කතාවට අදාළ සිදුවීම් සත්‍යය හෝ අසත්‍යය වීම කෙසේ වෙතත් ඒවා පිළිබඳව වන සාමාජයීය සංවේදනයේ අඩු බව දිගින් දිගටම මතු වන්නකි. රටේ මිනිස්සුන්ගේ සංවේදී බව අඩුව ගොස් ඇත්තේ එකී සිදුවීම් වල සුලබ භාවය නිසා ය. එබැවින්, අසංවේදී සමාජයක් සංවේදී කිරීම හුදු දේශපාලන සටන් පාඨයකට වඩා ගැඹුරු වන්නේ මෙවන් පසුබිමක ය.