Monday, November 23, 2009

දමිළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද මානව අයිතීන් ඇති බව අන්තරේට මතක් වීම




දමිළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද සිංහල හා අනෙකුත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙන් මූලික මානව අයිතීන් තිබෙන බව පරක්කූ වී හෝ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට තේරුම් ගොස් ඇත. පසුගිය දා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශ්‍රාස්ත්‍ර පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ ද්වාරකා නම් ශිෂ්‍යාව ත්‍රස්ත විමර්ශන අංශය විසින් පැහැරගැනීමට එරෙහිව අන්තරේ පාරට බැස ඇත. මූලික අයිතීන් නොසලකා පැහැරගනු ලැබූ ඇයව නිදහස් කරන ලෙසට ශිෂ්‍ය ව්‍යාපාරයක් ලෙසට පෙනී සිට ඇත.

මේ වෙනුවෙන් නිවේදනයක් නිකුත් කර ඇති අන්තරේ කැදවුම්කරු උදුල ප්‍රේමරත්න විසින් එල්ටීටීය විසින් බදවා ගන්නා ලද සෙබළ සෙබලියන් ගැන වඩා පුළුල් අර්ථයක සිට විග්‍රහ කොට ඇත. එහෙත් මෙකී විග්‍රහයන් ත්‍රිකුණාමල‍ෙය්දී සිදුවූ විශ්ව විද්‍යාල සිසු ඝාතනයන්, සෙන්චෝලේ සිසු ඝාතනයන් සිදුවූ විට බාහිරට නො ආවේ ඇයි දැයි යන්න ගැටළුවකි. මීට පෙර පේරාදෙණියේ හා මොරටුව විශ්වවිද්‍යාල වල සිදුවූ ශිෂ්‍ය අත්අඩංගුවට ගැනීම් වලදී අන්තරේ නිහඩබව දැඩි ප්‍රශ්ණාර්ථයකි.

තවමත් නොනවත්වා සිදුවන යාපනේ විශ්ව විද්‍යාලයේ අතුරුදන් වීම් සහ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ බියගැන්වීම් ගැන අන්තරේ නොදන්නේ දැයි අප නොදනිමු. දමිල මහාචාර්යව‍රයෙකුට අනුව යාපනේ විශ්වවිද්‍යාලයේ ‍කිසිම ශිෂ්‍ය ක්‍රියාකාරිත්වයක් නොමැත.

සිය කේවල් කිරීමේ ශක්තිය අහිමිවූ යාපනේ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයින්ගේ අයිතීන් වෙනුවෙන්ද පොදු ශිෂ්‍ය ව්‍යාපාරයක් ලෙස අන්තරේට මගහැර සිටිය නොහැක. එය දකුණේ සිසුන්ගේ පහසුකම් ගැටළු වෙනුවෙන් කෑගහසනවාට වඩා සංකීර්ණ වූවකි. ඔවුන්‍ට ඇත්තේ තම ජීවිතය පිළිබද ප්‍රශ්ණයකි.

කෙසේ වුවද පශ්චාත් යුධ කාලසිමාව තුලදී අන්තරේ මෙකී නැමියාව ඉතා සාධනීයය. මන්ද ඒක පාර්ශවික මර්ධනය දියත් වන්නේ මේ කාලසීමාවේදී හෙයිනි. අතීතය කෙසේ වුවද ජාතියක් නොසලකා අයිතිවාසිකම් රැකගැනීම සදහා ලාංකික ශිෂ්‍යයින් වෙනුවෙන් පෙනී සිටින ප්‍රධානතම සංවිධානයේ පෙළඹවීම සමස්ත සමාජයටම ආදර්ශයකි.

Tuesday, November 17, 2009

ගිලෙන්න යන මිනිහාට පිදුරු ගහක් දී ඉන් ලාභයක් උපයා ගැනීමට තරම් දියුනු වූ ශිෂ්ඨත්වය


ගිලෙන්න යන මිනිහාට පිදුරු ගහක් දී ඉන් ලාභයක් උපයා ගැනීමට තරම් ශිෂ්ඨ වූ ව්‍යාවසායකත්වයක් දැන් බිහිව තිබේ. විවෘත ආර්ථිකයේ ලිබරල්වාදී ශිෂ්ඨත්වය, වසර 2500ක් පැරණි ශිෂ්ඨාචාරයක් කූඨාප්‍රාප්තියත් සමගම ස්වයංපෝෂිත ලංකාවක් කරා යන මහින්ද ගමනේ අතරමග නූතන (අ)මානුෂිකවාදී ආර්ථික උපක්‍රමයන් රටපුරා දළුලමින් පවතී.


"රත්තරං වාසියක්" "ඔබේ රත්තරං වෙනුවෙන් අපෙන් ඉහළම මිලක්" "ඔබේ රත්තරං සින්නවෙන්න නොදී බේරාගන්න" යනාදී වූ මාතෘකා යටතේ විශේෂයෙන් බස්නාහිර පළාත අවට මෙකී ව්‍යාපාර සුලබව දැකිය හැකිය. සැබැවින්ම මෙහි සිදුවනුයේ අයෙක් විසින් උගස් කරනු ලැබූ රන්භාණ්ඩ, එකී උගස් තබන ලද රන්භාන්ඩ බේරාගෙන සුළු මුදලක් අයිතිකාරුවාට ගෙවා රන්භාණ්ඩ තමන් සතුකරගැනීමයි.


ගෑණුන්ගේ කකුල් දෙකක් පෙන්වීම සදාචාර විරොධී යැයි සම්මත, ශිෂ්ඨත්වයෙන් යුතු මේ සිරිලක, තවත් මිනිහෙකුගේ දුර්වලතාව, ආර්ථික අපහසුකම් ඉදිරිපිටදී අදාළ මනුස්සයාට පිළිසරනක් වීම පැත්තකින් තබා ඔහුට තවත් පාඩුවක් කිරීමට ඉදිරිපත්වීම අතිශය ප්‍රචලිතව ඇති ව්‍යාපාරයක් බව ක්ෂනිකව පත්ව ඇත. බණ භාවනා පංති, හතර පෝයටත්,වැලන්ටයින් දිනයටත් සිල්ගැනීමට තරම් ශීලාචාර සමාජයක මිනිස්සු ඇස් කන් පියා බලා සිටීම, අන්ධබවද, අනවබෝධයද, අවස්ථාවාදීකමද යන්න සිතාගත නොහැක.

Tuesday, November 10, 2009

ඉපැදුනු සැනින් බිළිදිය මැරූ කාන්තාව සුපුරුදු පරිදි රිමාන්ඩ් භාරයට. එතැන් පසු....???




ඉපැදුණු සැණින් බිළිදිය මරා රෝහලේ ලාච්චුවක් මත දමා තිබියදී හමුවීම නිසා අදාළ බිළිදියගේ මව යැයි සැකකෙරෙන කාන්තාව රිමාන්ඩ් භාරයට පත් කර ඇත. මෙවැනි සිදුවීම් පසුගිය කාලය පුරාවටම අතිශය සුලබ ලෙස අසන්නට ලැබුණි. එසේ වුවද අදාළ බිළිදුන්ගේ මව යැයි සැකකෙරෙන කාන්තාවන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්‍කර අදාළ සිදුවීමේ මතුපිට තත්ත්වය පිලිබද සමාජයේ ගොඩනැගී තිබෙන වෛරය පිරිමසා ගන්නවා මිස මෙකී ඛේදවාචකයන් පිටුපස ඇති දැවැන්ත සමාජ අර්බුදය ගැන කිසිවෙකුත් කිසිවක් කරන බවක් පෙනෙන්නට නැත.

ලංකාව වැනි සමාජයක ජීවත් වන කාන්තාවක් තුල මාතෘත්වය පිළිබදව ගොඩනැගී ඇති සියළු‍ ගෞරවණීය තත්ත්වයන් කෙලෙසා තමන්ගේම ලෙයින් උපන් කිරිකැටියන් ඉපදීමට පෙර හෝ ඉපදුණු සැනින් මරාදැමීමට පෙළඹෙන්නේ අදාළ කාන්තාව කුමන‍ හෝ තත්ත්වයක් තුළ පත්වන දැඩි අපහසුතාව නිසාම බව සිතීමට තරම් අපගේ සමාජයේ මිනිසුන් සංවේදී බවක් පෙනෙන්නට නැත. එකී මනුෂ්‍ය ඝාතනයන් සිදුකරන්නේ එක් පසෙකින් තමන් ඉදිරියට මුහුණදීමට අපහසුතරම් වන සමාජ අපවාදයන් හෝ ඛේදවාචකයන් නිසාම පමණක් නොව දරුවෙක් ලෙස අදාළ බිළිදා ඉදිරියට මුහුණදෙන අපහසුතාවන් නිසාද වන්නට පුළුවන.

නීත්‍යනුකූල පියෙකු නොමැති දරුවෙකු හෝ නීත්‍යනුකූල නොවන සැමියෙකු නොමැති කාන්තාවක් ගැබ්ගැනීම පිළිබද අපගේ සමාජයේ ඇති මතය, පිළිගැනීම අප සමාජයක් ලෙස කෙතෙක් මානුෂීයද, ශිෂ්ඨද යන්න හොදින් පෙන්වා දෙයි.

සහජ ආශයක් ලෙස ලිංගිකත්ව පිලිබදව කාන්තාවකට ඇති කැමැත්ත, පෙළඹවීම පිළිබදවත් පිළිගැනීමක් නොමැති සමාජයක මෙවැනි ඛේදවාචකයන් වැලැක්වීමට ගත යුතු පියවරයන් සදහා අප සමාජයක් ලෙස බොහෝ දුර යා යුතුය. අනෙක් අතට මුදල හඹායන අවසංවේදී සමාජයක අවංකබව, ආදරය, විශ්වාසය යනු හුදු වචනයකට පමණක් සීමා වු සමාජ ක්‍රමයක් තුල දුබලයා ලෙස කාන්තාවන්ට මෙආකාරයේ දුෂ්කරතාවන්ට පත්වීම ක්‍රමයේ ම ප්‍රතිඵලයකි.

එක් පසෙකින් උත්තරාරෝපිත සමාජක්‍රමයකට අනුගත වෙමින් තරගකාරී දිවිපෙවෙතක් ගත කරන අතර සංස්කෘතියක් ලෙස ඓතිහාසික මිත්‍යාමත තවමත් සමාජය තුල රැදී තිබෙන විටෙක බිහිවන විකෘතිතාවයන් තුලට මේ සිදුවීම් ඇතුලත් කිරීමේ වරදක් නැත.

Friday, November 6, 2009

අරූ පස්සේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් - විමල්, නන්දන දෙදෙනාම පවසති


දේශප්‍රේමය වෙනුවෙන් කැපවී සිටින සිය පක්ෂයේ මහලේකම් වන නන්දන ගුණතිලක සහ ඔහුගේ පුද්ගලික ලේකම් කමල් දේශප්‍රිය ඉන් ඉල්ලා අස්වී යෑම පිටුපස විජාතික දේශද්‍රෝහී කුමන්ත්‍රණයක් පවතින බව විමල් වීරවංශ මහතා පවසයි. ඇමරිකානු නව තානාපතිවරිය විසින් ආර්ථික ඝාතකයින් පිරිසක් ලවා තම පක්ෂය බිදවැට්ටවීමට සිදුකළ රහසිගත කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස මෙය සිදුවී ඇති බව ඔහු පවසයි. ඉදිරියට තවත් මෙආකාරයේ දෑ සිදුවිය හැකි බවද ඔහු පවසා සිටියේය.


මේ අතර ජනිපෙන් ඉල්ලා අස්වී යෑම ගැන නිලනොවන ලෙස අදහස් දක්වා ඇති නන්දන ගුණතිලක පවසා ඇත්තේ දේශප්‍රේමී අරමුණකින් යුතුව තමන් විසින් ජනිපෙ නිර්මාණය කිරීමට උදව් කළද මේ වන විට ජනිපෙ අධිරාජ්‍යගැති, දේශද්‍රෝහී වුවමනාවෙන් කටයුතු කරන නිසා තමන් ඉන් ඉවත්වීමට කටයුතු කළ බවයි. ඒ වෙනුවට ජනපති සමග එක්ව ඔහුගේ දෑත් ශක්තිමක් කිරීමට අදහස් කරන බව පවසයි. අධිරාජ්‍යගැති, දේශද්‍රෝහී මගක ගමන් කරන ජනිපෙට එරෙහිව තමන් නිකං නොසිටින බවද ඔහු පවසා ඇත.

Thursday, November 5, 2009

රණවිරුවන්ගෙන් ගොඩයන සැටි බලා හුන් මෛත්‍රිපාල ගොවියන්ට ද හමුදා‍වක් මෙන් වැඩකර තමන් ගොඩදමා දෙන මෙන් අයැද සිටී.


මෑතකාලීන දේශපාලනයෙන් හොදටම ගොඩ ගියේ රටේ හමුදාව යුද්ධය සිදුකිරීම හේතුවෙන් ඒ අවට සිටි හිවල් මැති ඇමතිගොල්ලය. එහෙත් එහි කට්ටක් වත් සූප්පුකිරීමට ලැබුණේ රජතුමාට හොදින් දී වැඩිම පන්දමක් පත්තුකළ අයටය.පක්ෂයේ ඉහළම තනතුරු දැරුවත් පෙරකළ චන්ද්‍රිකා අකුසලකර්මය පටිසන් දීම නිසා මෛත්‍රිපාල ලොක්කා හට සූප්පූකිරීමට ලැබුණේ සුවදත් යනකම්ම සූප්පුකළ මස්කටුය. ඒ නිසා තමන්ට වඩා කණිෂ්ඨ “දෙන්නන්” කටු සූප්පුකරන හැටි කෙළ හල හලා බලාසිටීමට තරම් මෛත්‍රී ලොක්කා අවාසනාවන්ත විය.කෙසේ හෝ හෝදා හෝදා මඩේ දැමූ මස්කුට්ටිය අවසන් වීම නිසා කටුලෙව කෑ බල්ලන්ට යන එන මං නැති බව දුටු මෛත්‍රී ලොක්කා තමන්ගේ ගම් පැත්තට ගොස් කවදත් දුකට සැපට සිටි තම ගමේ ඇත්තන් හට තමන්ට ඇති දොළ දුක පසුගිය ප්‍රකාශ කළේය.

මේ නිසා තමන්ට අමතකව ගියත් තමන්වෙත ඇලී සිටින සහෝදර ගොවියන්ගෙන් ඉල්ලුවේ, තමන් බලාසිටීයදී තමන්ට පෙන්න පෙන්න කටු කෑ බල්ලන්ට හොද පාඩමක් උගන්වන ලෙසයි. එනම් යුද්ධෙන් කඩාගෙන කෑමට නොහැකි වූ තමන්හට කෘෂිකර්‍මයෙන් වත් ගොඩ යෑමට අවස්ථාවක් සලසන ලෙසයි. ඒ වෙනුවෙන් ගොවියන් වන ඔබ රණවිරුවන්, යුධහමුදාවක් සේ වැඩකර තමන්ට පිහිට වන ලෙස මෛත්‍රී දෙපා නැමැද ඉල්ලා සිටියේය. තමන්ගේ හත්මුතු පරම්පරාවට අත්වෙන ඉරණම ගැන සළකා ‍කෙසේ හෝ තමන්ව ගොඩ යවන ලෙසද වැඩිදුරටත් ඔහු ඉල්ලා සිටියේය.

මේ හිගන්නාගේ අසරණ ඉල්ලීම ගැන සළකා බැලූ ප්‍රදේශවාසි ජනතාව රුපියල රුපියල එකතුකර දීමට උත්සාහ කළද, මෛත්‍රී ප්‍රකාශ කළේ එතරම් කරදර නොවන ලෙසත් ගොවිජනතාව හමුදාවක් මෙන් වැඩකිරීම ප්‍රමාණවත් බවත්ය. ඔහු අසල සිටි අයෙකුට ප්‍රකාශ කපටි හිනාවක් නගා ප‍්‍රකාශ කර තිබුණේ "මුංගේ වී වලින් කරදරයක් නැතිවම රුපියල ගන්න කියලා මල්ලිට කියන්නම්" ලෙසය.

Tuesday, November 3, 2009

නතාෂා පෙරේරා අනාගත “ආකාස කුසුම”ක්ද?


අකාස කුසුම් චිත්‍රපටය දිගහැරුණු ඛේදවාචකය හිතට බරක්ව තිබියදී එහි ගීතය ඇසීමෙන් නැවත නැවත වරක් එහි වන වේදනාත්මක බව විදිමින් සිටින මොහොතක තවත් සුරූපී නිළියක් ශ්‍රී ලාංකික රූපවාහිනියට පැමිණෙන බව පූර්ව ප්‍රචාරණයක් දියත් වෙමින් පවතී. ඒ කුඩා කළ හුරුබුහුටි කටහඩකින් ගීත ගැයූ නතාෂා පෙරේරාය. ලාංකික ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට වඩාත් ගැලපෙන සුරූපී බවකින් යුතු ඇය ලාංකික රූපවාහිනිය ඇතුළු ප්‍රසාංගික තලයන් තුළ හොද වෙළදපොළක් නිර්මාණය කිරීමට තරම් හැකියාවක් වෙතැයි මේ වනවිටත් ඇය පෙනීසිටින වෙළද දැන්වීම් ප්‍රමාණයෙන් උපකල්පනය කළ හැක. ‍

පසුගිය දිනෙක රූපවාහිනී සාකච්ඡාවකදී ඇය ප්‍රකාශ කළේ තමන් මෙන්ම විශේෂයෙන් තම මව කළෙක සිටම හොද කලා නිර්මාණයකට යොමුවීමට සොයබලමින් සිටි විට තමන්ට කුළුදුලේ රගපෑමට ස්වාධීන රූපවාහිනිය ආරාධනා කළ බවයි. ස්වාධීන රූපවාහිනිය උසස් ගණයේ නිර්මාණ කරන නිසා තමන් කිසිම පැකිලීමකින් තොරව ඊට සහභාගි වූ බව ඇය ප්‍රකාශ කළාය. සුපුරුදු නිළියන්ගේ බස්‍ හා යමින් ඇය එසේ ප්‍රකාශ කළද සැබෑම කාරණය නම් ඇය විසින් කුළුදුලේම සහභාගී වන්නේ අමු ඉන්දීය සෝප් ඔපෙරා ආකෘතිය යටතේ නිපදවූ මෙගා ටෙලිනාට්‍යයකටය.

තරුණියක් ලෙස වෙළදපොලේදී මිලක් ලබාගැනීම පිළිබද ඉරිසියාවක් අපට නැතත් සැබැවින්ම වෙළදපොලේ විකිණී හපයක් වීමට පෙර ලාංකික තරුණියක්, තරුණියක්, ඓතිහාසිකව දුක්විදීමට නියමවූ පංතියක සාමාජිකයෙක් ලෙස නතාෂා වෙත අපට කීමට ඇත්තේ අමනුස්සකම රජයන වෙළදපොල තුළ ප්‍රවේශම් වන ලෙසයි. “අරකිට ගහලා හිරේ ගියත් කමක් නෑ” කියන රටක, ස්ත්‍රීත්වය පෙරා හපයක් වන තෙක් සාරය උරාබී මගමගට ඇදදමන සමාජයක තරුණියක් ලෙස තවත් සන්ධ්‍ය රාණි කෙනෙක්, ශාලිකා කෙනෙක්, ප්‍රියා කෙනෙක් නොවීමට ඔබට නැණ නුවණ පහළවේවා. ඔබ සිටිනා තලයක එවැනි අවබෝධයක් ලබා ගැනීම උගහට වුවද, පවතින සමාජය කෙරේ යම් සමාජය පිළිබද යම් සංවේදී වීමක්ම ඒ සදහා ප්‍රමාණවත්ය. ඔබට ගුරුහරුකම් දෙන ඔබේ මැණීයන් ඔබට “ආකාස කුසුම්” චිත්‍රපටය බැලීමට නම් ගුරුහරුකම් නොදෙන බව විශ්වාසය.