Tuesday, August 3, 2010
මර්වින්ව පත්කරගත් ජනතාව වැට බැඳීමට අමතරව කළ යුතු තවත් දේ!
ඉතිං මේ හැම කුප්ප වැඩක්ම පිටිපස්සේ ඉන්න ශක්තිමත් යෝධ හෙවනැල්ල අපේ අතිගරු මහරජාණන් කියලත් අමතක කරන්න එපා.
කොහොම වුනත් මර්වින්ව ගම්පහ දිස්ත්‍රික්කේ ලක්ෂයකට වැඩි මනාපත් එක්ක තෙවැනි තැනට මනාප දීලා තෝරා පත්කරගත්තු මහජනතාව ගස් බඳිනවා හැර තවත් කළ යුතු යමක් ඔබ යෝජනා කරනවාද???
ඔබේ අදහස් නිදහසේ ලියන්න...සයිබර් අවකාශයේ කියන දේවල් බෞතිකව කරන්න යන එක වෙනමම දෙයක් නිසාත්, තවමත් මේ ගෝත්‍රික ආන්ඩුව සුළුතරයක් වූ හිතන්නනගේ සයිබර් සිතිවිලි වලට සම්පූර්ණයෙන්ම වැට බැඳලා නැතිනිසාත් හිතේ ඇතිවන ඕනෑම අදහසක් පළකරන්න බය වෙන්න එපා..මම ඇනොනිමස්ලටත් වැට බැඳලා නැහැනේ.
Monday, July 26, 2010
ලෝක සිනමාවෙන් - Children of Heaven

ළමයා යනු කුඩා වැඩිහිටියෙකු නොවේ යැයි කියමනක් ඇත. එහි සැඟව ඇති අර්ථය යනු ළමා ලෝකය යනු වැඩිහිටියෙකුගේ ලෝකයට හාත්පසින්ම වෙනස්වූවක් බවයි. එකී අපූර්ව ලෝකය සිනමාත්මකව නිරූපණය කිරීමට සම්මානනීය ඉරාන සිනමා අධ්‍යයක්ෂකවරයෙක් වන මජීඩ් මජිඩි විසින් දරණ ලද සාර්ථක උත්සාහයක් 1997 වසරේදී "Children of Heaven" ලෙසින් එළිදැක්විණි. ළමා සිනමාව ප්‍රමිතියකින් තොර නිර්වචනයන්ට යටත් කොට ඇති ලංකාවේ ළමුන්ට භාෂාව බාධාවක් නොවේ නම් සැබැවින්ම රසවිඳිය හැකි නිර්මාණයක් ලෙස හඳුන්වා දිය හැකිය. සිනමා භාවිතය, ඉරාන සංස්කෘතිය, ළමා මනසේ හැසිරීම, උසස් සිනමා කෘතියක තිබිය යුතු බොහෝ ලක්ෂණයන්ගෙන් පරිපූර්ණ "Children of Heaven" චිත්‍රපටය 1998 වසරේදී ඔස්කා සම්මාන උළෙලේ හොඳම විදෙස් චිත්‍රපට වෙනුවෙන් නිර්දේශිත නාමයන් අතරටද, එක්විය.
අලී කියන පුංචි ළමයා එයාගේ කුඩා සහෝදරියගේ කැඩිච්ච පාවහන් යුවළ අළුත්වැඩියා කරගෙන ගෙදර එනවා. අතරමඟදි නිවසට අවශ්‍ය වෙනත් බඩු ගන්න කියලා හිතලා ඒ පාවහන් යුවළ වෙළඳසලක පිටතින් තියෙන රාක්කයක් මත තියනවා. එතනට එන පරණ බඩු ගන්න වෙළෙන්දෙක් වෙළඳසැලේ පරණ බඩු කියලා හිතලා ඒ පාවහන් යුවළත් අරං යනවා. මේ සිද්ධිය අලීගේ ජීවිතේම වෙනස් කරන්න හේතු වෙන්නේ එයාගේ සහෝදරියට පාසැල් යන්න තියෙන එකම සපත්තු කුට්ටම ඒක වීමත්, එයාලගේ තාත්තට අළුත් සපත්තු කුට්ටමක් අරං දෙන්න වත්කමක් නොවීමත් හින්දා. කොච්චර ආර්ථික අපහසුකම් තිබුණත් පාසැල් යන්නත් ඕන. පාසැල් යනකොට සපත්තු දාන්නත් ඕන. ඒත් අයියටයි නංගිටයි තියෙන්නේ එක පාසැල් කුට්ටමයි. හැබැයි වාසනාවකට වගේ මෙයාලා දෙන්නා ජීවත් ඉන්නේ ඉරානේ. ඒ කියන්නේ කාන්තා පාසැල් තියෙන්නේ උදේ වරුවේ, පිරිමි පාසැල් තියෙන්නේ හවස් වරුවේ. කාන්තා පාසැල් අවසන් වෙන වෙලාවෙම පිරිමි පාසැල් ආරම්භ වෙනවා. අයියා යෝජනා කරනවා එකම සපත්තු දෙක මාරු කරගෙන දාගන්න, නංඟිගෙ සපත්තු දෙක හොයාගන්නකං. ඉතිං නංගි සාරා ලැජ්ජාවෙන්, කවුරුහරි දකීවිද කියලා සැකෙන් වගේ පිරිමි සපත්තු කුට්ටම දාගෙන ගිහිං පාසැල අවසාන වුණු සැණින් වේගෙන් දුවගෙන දුවගෙන එනවා. එයාගේ අයියා මඟ බලාගෙන ඉන්නවා නංඟිගෙන් සපත්තු කුට්ටම ගන්න. මේක මේ දෙන්නගේ රහසක් හින්දා කවුරුත් දකින්නත් බැහැ. අලීගේ පාසැලට වෙලාවටම යන්නත් ඕන. ඒත් ඉතිං නංඟි එනකං ඉඳලා සපත්තු මාරුකරගෙන පාසැලට දුවගෙන යනකොට නියමිත වෙලාවට වඩා විනාඩි කිහිපයක් පරක්කු වෙන එක අහන්නත් දෙයක්ද? ඒත් ඉතිං වෙලාවට වැඩකරන්න පුරුදු කරවන කොට මිනිස්සුන්ට ජීවිතේ වෙන බාධක, ප්‍රශ්ණ ගැන හිතන්නේ නැහැනේ.
කොහොම වුනත් වැඩිහිටි ඇසුරෙන් කිලිටි නොවුණු මේ අයියයි, නංගියි දෙන්නට දෙන්නා හරිම ආදරෙයි. ඒක හින්දා තමන්ගේ සපත්තු දෙක අයියා නැතිකළා කියලා තාත්තාට කියන්නෙත් නැහැ. නංඟිට සිදුවුණ අඩුපාඩුව අයියා දන්න හින්දා එයා කොහොමහරි උත්සාහ කරනවා නංඟිගේ අඩුපාඩුව සම්පූර්ණ කරන්න. ඔහොම හැල හැප්පිලි සහිත ජීවිතේ ගලාගෙන යන අතරේ දවසක අලී දකිනවා අන්තර් පාසැල් මැරතන් තරඟයක තෙවන ස්ථානය සඳහා සපත්තු ජෝඩුවක් තෑගි හම්බවෙනවා කියලා දැන්වීමක් පළකරලා තියෙනවා. ඒත් අවාසනාවකට ඒකට අවශ්‍ය තේරීම් තරඟ පවත්වලා ඉවරයි. අලී මේකට සහභාගී නොවුනේ එයාගේ සපත්තු දෙක කැඩෙයි කියලා බයටයි. ඒත් අලී එයාගේ උත්සාහය අත්හරින්න සූදානම් නැහැ. ඒ වුණත් අලීට මේ තරඟාවලියට යන්න පාසැලෙන් ඉඩ ලැබෙයිද? එහෙම ඉඩ ලැබුණත් එයාට දිනන්න අවස්ථාවක් ලැබෙයිද? දිනුවත් එයාට සපත්තු දෙක එයාට ලැබෙයිද? මේ ප්‍රශ්ණ වලට පිළිතුරු හොයන්නනම් චිත්‍රපටිය බලන්න වෙනවා.
ළමා ලෝකය සුන්දරයි කියලා හැමෝම කියනවා. ඒකට ළමයින්ගේ හැඟීම් අවංක වීමත් එක හේතුවක්. වැඩිහිටියෝ වෙලා පසුකාලීනවා තමන්ට මෙන්ම අනුන්ටත් වංක වෙලා කටයුතු කරාට ළමයි එහෙම නැහැ. සාරා නංඟි තමන්ගේ අයියට ආදරෙයි. එයා දන්නවා තමන්ගේ තමන්ගේ අයියා අතින් වැරැද්දක් වුණු බව තාත්තාට කිව්වොතින් තාත්තා එයාට දඩුවම් කරන බව. තාත්තට සල්ලිත් නැති එකේ අළුත් සපත්තු දෙකක් ගන්න කරදර කරන්නත් හොඳ නැහැ. මේ අවංක හැඟීම් වලට පිටින් ගිහිං අයියගෙන් පළිගන්න තරම් සාරා නපුරු වෙලා නැහැ. සිද්ධිය වුනේ කොහොම වුනත් දෙන්නා පොරොන්දු වුණු විදිහට වැඩ කටයුතු කරගන්න ඕන. දවසක් සාරාට පාසැලේදි විභාගයක් ලියන්න තිබුණා, ඉතිං සාමාන්‍යයෙන් පංති ඇරෙන වෙලාවට ගෙදර යන්න විදිහක් නැහැ. ඒත් සාරා දන්නවා එයාගේ අයියා අලී සපත්තු දෙක ගන්න මඟ බලාගෙන ඉන්නවා කියලා. විභාගේ ගැන හිතන්නේ කොහොම ද ? සාරා විභාගය අතරමඟදි නැඟිටලා යනවා. විභාගයක් කියන එක සාරාට තරඟකාරී දෙයක් නෙවෙයි. එයා සාමාන්‍ය ලෝකේ තියෙන තරඟකාරී කමට හුරුවෙලා තිබුනේ නැහැ. අනිත් කෙනා ගැන නොසළකා තනියෙන් විභාගේ ඉහළින් සමත් වෙනවට වඩා එයාට තමන්ගේ පොරොන්දුව ලොකුයි.
ළමා ලෝකයට අදාළ සංවේදී සිදුවීම් ගණනාවකින් මේ චිත්‍රපටය සමන්විත වෙනවා. ළමා ලෝකය ගැන කතා කරන අතරතුර වැඩිහිටියන්ට වෙනමම රසවිඳිය හැකි සිදුවීම් ඇතුලත් විමෙන් චිත්‍රපටය වඩාත් ගැඹුරු ස්වභාවයකට ආරෝපණය වෙනවා කිව්වෝත් නිවැරැදියි. චිත්‍රපයට සඳහා ස්වභාවික දර්ශනයන් ඇතුලත් කිරීමට වෙහෙසී ඇති මජිඩි නගරය තුළ හා පාසැල තුල ඇති දර්ශන සඟවා තබන ලද කැමරා වලින් රූගත කළ බව සඳහන් කරනවා. තමන්ගේ පළමු සිනමා රංගනයට ඉදිරිපත් වන ප්‍රධාන චරිත රඟපාන ළමුන් දෙපළ වන ෆාරොක් හෂ්මියන් (අලී) සහ බහරේ සෙඩිකි (සාරා) අතිවිශිෂ්ඨ රඟපෑමක් සිදුකරන බව ජාත්‍යන්තර විචාරකයින් සඳහන් කරනවා.
ළමා මනස තමන්ට ඕන විදිහට සකස්විය යුතුයැයි ඒකාධිපති මතයක් දරණ ඊට අරක්ගත් ලාංකික ඊනියා සිනමා කරුවන් විසින් මෙවැනි ළමා චිත්‍රපට අනිවාර්යෙන් නැරඹිය යුතුමය. ඉතා විශිෂ්ඨ නිර්මාණයක් වුවද මෙය ලාංකික ළමුන්හට විඳීමට අපහසු විය හැක්කේ භාෂාව සහ සන්දර්භය සමීප නොවීම හේතුකොටගෙනය. ලංකාවේ ළමුන් වෙත සමීප විය හැකි, වින්දනයෙන් යුතු සිනමා නිර්මාණයක් අනාගතයේ කවදාකහෝ බිහිවීමට නම් මෙවැනි චිත්‍රපටයකින් ලබා ගත හැකි ආදර්ශ බොහෝ වේ යැයි මම විශ්වාස කරමි.
Wednesday, June 30, 2010
බෑන්කී මූන්ගේ නියෝජිතයින් හා අන්තයන් ද්විත්වය

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් ලංකාවේ ආණ්ඩුවටම පිදුරු ගහක් සපයා ඇත. එල්ටීටීය බිඳවැටීමෙන් පසු හතුරෙක් හොයාගැනීමේ අපහසුතාවයෙන් පෙළුණු ආන්ඩුව මහත් අපහසුතාවයකට පත්විය. කොටින්ම ආණ්ඩුවට තමන්ගේ මතවාදී හිතවතෙකු වන සරත් ෆොන්සේකාව කෘතීම හතුරෙක් බවට පත්කිරීමට සිදුවිය. ඇත්තටම දෙයක් නොකර ගසා කමින් ජීවිත් වන ආණ්ඩුවට ජනතාව රැවැට්ටීම සඳහා කුමන හෝ උපාය මාර්ගයක් අවශ්‍යය. ඒ සඳහා පොදු හතුරෙකු අනිවාර්යෙන් අවශ්‍යය.
දැන් ආණ්ඩුවට රටේ ඇති සැබෑ ප්‍රශ්න අමතක බෑන් කීන් මූන්ට එරෙහිව නාමිකව, ජනප්‍රියවාදීව කටයුතු කළ හැකිය. රටේ බඩුමිළ, ජිවන තත්ත්වය, විරැකියාව, ආර්ථික අර්බුද සියල්ලට නිදහසට හේතුව ලෙස "බැන්කී මූන්"ව ඉදිරිපත් කළ හැකිය.
මධ්‍යස්ථව ගතහොත් මෙය ඉතා සුවිශේෂී තත්ත්වයකි. එක් පසෙකින් ඒකාධිපති වියරුවක් සහිත පාලකයෙක් සදහටම රට තමන්ට ලියාගැනීමට සැරසෙයි. ඔහුගේ මේ ඒකාධිපතිබාවයට විරුද්ධ විය යුතුය. අනෙක් පසින් තුන්වැනි ලෝකයේ රටක් ලෙස බටහිර රටවල් අපේ රටවල් වලට නාස්ලණුව දැමීමට සැරසෙයි. මෙකී තත්ත්වයන් දෙකම අන්තයන් දෙකකි.
මේ මොහොතේ අපි ඉතා අවධානයෙන් කටයුතු කළ යුතු අතර වඩා නිවරැදි තීරණය ඉතිහාසය විසින් සම්මත කෙරෙනු ඇත. මේ උත්සාහය ඒ වෙනුවෙන් සාධනීය සංවාදයක් ගොඩනැඟීමටයි.
Monday, June 28, 2010
මහාචාර්ය ජගත් වීරසිංහත් රාජපක්ෂ තුරුලටද??
දැන් ලංකාව ශුද්ධ වූ ඒකීය රාජ්‍යයකි. එහි එකම නායකයා පර්සි මහේන්ද්‍ර රාජපක්ෂය. මෙහි පවතින එකම මතවාදය රාජපක්ෂවාදයයි. සුවිශේෂීත්වය නම් මෙකී මතවාදය නියෝජනය කරන්නන්ගේ ඇති විවිධත්වයයි. එක් පසෙකින් මාක්ස්වාදය, ට්‍රොස්කිවාදය, පශ්චාත්නූතන වාදය අදහන පිරිස් සිටියදී ඔවුන්ට සම්පුර්ණයෙන් ප්‍රතිපක්ෂ ජාතීවාදී, වර්ගවාදී, සිංහලනාසිවාදීන් අනෙක් පසින් සන්නද්ධව ඇත. අනෙක් පැත්තෙන් සියළු නළු නිළියන් මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද බොහෝමයක් ඇතුලත්ය.
රාජපක්ෂවාදය එක් පසෙකින් ලංකාවේ සාමාන්‍ය ජනයාගේ ජීවන මට්ටම අපහසුතාවයට ලක්කරන ගමන්ම අනෙක් පසින් රෙජීමයට විරුද්ධ පිරිස් අවශෝෂණය කරගනිමින් සිටියි. යුද්ධයට පක්ෂ වූවන් මුලින් ආකර්ෂණය කරගත් ඔවුහු යුධ විරෝදීන්ද තමන් දෙසට නම්මවා ගනිමින් සිටියි.
මීට ආසන්නතම නැමියාවක් දක්වමින් සිටින්නේ මෙරට ප්‍රකට චිත්‍ර හා මූර්ති ශිල්පියෙකු මෙන්ම පශ්චාත් පුරාවිද්‍යා අධ්‍යයතන ආයතනයේ අධ්‍යක්ෂක මහාචාර්ය ජගත් වීරසිංහය. ඔහු විසින් රාජපක්ෂකරණය වී ඇති බවට සෘජු සාක්ෂි නැතත් පසුගිය දින වල ඔහු විසින් දිගින් දිගටම ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති හා සම්බන්ධ වූ අතර ජනමතය හසුරුවන වැඩසටහන් වලද පෙනී සිටියි.
සාමය වෙනුවෙන් ස්ථාපිත වූ ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන ජාලයේ චිත්‍ර හා මූර්ති ශිල්පය හා සබැඳි ප්‍රබලතම රාජ්‍ය නොවන සංවිධානය හා කලා එකතුව වන තීර්ථ කලා එකමුතුව හරහා සාමය විකිණූ ඔහු යුද්ධය හා ජාතිවාදය, වර්ගවාදය තම ධර්මය කරගත් රාජපක්ෂ හවුලේ සෘජු ප්‍රකාශකයා වන ජාතික රූපවාහිනිය හා සම්බන්ධ වන්නේ කෙසේද යන්න ගැටළුවකි.
කලාව සම්බන්ධයෙන් මහාචාර්ය ජගත් වීරසිංහ හට අභියෝග කිරීමක් මෙහිදී සිදුනොවුනත් ඔහු විසින් ලංකාවේ යුද්ධය භාවිතාවෙන් රැස්කරගත් මුදල් (ලංකාවේ යුද්ධයක් නොතිබුණේ නම් හෝ ඔහු සාමය වෙනුවෙන් පෙනී නොසිටියේ නම් මෙකී මුදල් නොලැබෙන බව අනිවාර්යයකි) වල වත් ගෞරවය නොතබා ලද අවස්ථාවෙන් රාජපක්ෂ හා එක්වන්නේ නම් ජගත් වීරසිංහ යනු කොතරම් දක්ෂ කලා ශිල්පියෙකු වුවද ඔහුගේ මනුෂ්‍යත්වය පිළිබඳව ප්‍රශ්ණාර්ථයක් හටගනී.
ජගත් වීරසිංහ කොතෙක් දුරට රාජපක්ෂ වෙනුවෙන් පෙනීසිටීද යන්න කිව නොහැක. අවශ්‍ය නම් තමන්ගේ පොරටෝක්, න්‍යායාත්මක මතවාද තබාගනිමින් රාජපක්ෂගේ පිට කස කසා සිටිමේ තෝරාගැනීමක්ද රාජපක්ෂවාදය තුල ඇති නිසා ඒ හා එක්වීමට එතරම් අපහසු වන්නේ නැත. අභියෝගය නම් කිසිඳු ලාභ ප්‍රයෝජනයක් නොගනිමින් (එන්ජීඕ වලට නොවිකුණමින්) සැබෑ මනුෂ්‍ය වර්ගයාගේ උන්නතිය උදෙසා පෙනීසිටීමට අවශ්‍ය හෘද සාක්ෂිය ආරක්ෂාකර ගැනීමයි.
Tuesday, June 15, 2010
යාපනේදි අන්තරේට පහරදීලා - ඇත්තද???

ජීවිතේ තියෙන තරඟකාරිත්වය ගැන කාරුණික වුණු අපේ දානපතීන් දැන් අපිට පත්තර කියවලත් දෙනවා. වෙන කරන්න දෙයක් නැති හින්දා අපිත් ඉතිං ඒක අහගෙන ඉන්නවා. ඒත් ඉතිං ක්ෂණික දේවල විෂ සහිත දේ අන්තර්ගත විය හැකි බවට ආහාර වලින් ගොඩාක් උදාහරණ තියෙනවා. ඒ වගේ දෙයක් තමයි පත්තර කියවලා දෙන " මුල් පිටුව". බන්දුල පද්මකුමාර අපිට පත්තර කියවන ගමන් විෂසහිත දේවළුත් ඇතුල් කරන්න පසුබට වෙන්නේ නැහැ. ඇත්තටම එතුමට ලේක්හවුස් පට්ටම හම්බවෙන්න හේතු තියෙන්නත් ඕනනේ.....
පද්කුමාර හෙවත් මල්කුමාරයා සාමාන්‍යයෙන් මුලින්ම කියවන්නේ අග්නිදිග ආසියාවේ වැඩිපුරම අලෙවිවන පුවත්පත "දිනමිණ". අපි හැමෝමත් බොහෝම ආසාවෙන් අහන්න කැමැති පුවත් තියෙන එකේ උදේ පාන්දරම මල්කුමාරයාගේ මෑණියන් වහන්සේ මතක්වෙනවා මිසක් ඊට වැඩි දෙයක් වෙන්නේ නැහැ.
කොහොමහරි මම කියන්න ආවේ අද උදේ පළවුනු නිව්ස් එකක් ගැන මගේ අදහසක් දක්වන්නයි (මේ නිවුස් එක පත්තරේ තියෙනවා මම දැක්කේ නැහැ.. හැබැයි ඇහුවා)
"දේශපාලන කිරීමට යාපනය විශ්වවිද්‍යාලයට ගිය අන්තරේ (අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය) ට යාපනයේ විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය ප්‍රමුඛ සිසුන් පහරදී පන්නා දමති. තම විශ්ව විද්‍යාලයට දේශපාලනය අනවශ්‍ය බවත්, විෂ පෙවීමට එන පිරිස් ඔවුන් විසින් පන්නා දමා ඇත" මෙම පුවත බොරුවක් බව ලංකාටෲත් ඔස්සේ උදුල ප්‍රකාශ කර ඇත.
එක්පසෙකින් මෙය පට්ටපල් බොරුවකි. දකුණේ විශ්වවිද්‍යාල වල පිරිස් දේශපාලනයැයි කියා තමන්ගේ අනෙක් ෆැකල්ටියේ එවුන් සමස්ත ලෝකයේම හතුරා බව සිතමින් ක්‍රියාකරන විට යාපනයේ විශ්වවිද්‍යාල සිසුන් වඩා පුළුල් දේශපාලන පිලිවෙතක් වෙනුවෙන් පෙනීසිටියෝය. ඔවුන් විසින් ඒ වෙනුවෙන් පොලොව මත කැපකිරීම කළහ. එහෙව් එකේ යාපනය විශ්වවිද්‍යාලයට අන්තරේ දේශපාලනය ඉගැන්විය යුතු නැත.
අනෙක්පසින් අන්තරේ ප්‍රහාර එල්ලකිරීමට යාපනයේ විශ්වවිද්‍යාල සිසුන්ට පැහැදිලි අයිතියක් ඇත. වර්ගඝාතක යුද්ධයකට උඩගෙඩි දෙමින් රට අන්තවාදයකට ගෙනයාමට ජවිපෙ සමඟ ඔවුන්ද පෙනී සිටියහ. ඔවුන් අන්තරේට පහරදිය යුත්තේ ඒ හේතුව නිසා මිසෙක "දේශපාලනය " නිසා නොවේ.
ලංකාව හූරාකන ආණ්ඩුවේ බත්බැලයින් ලංකාවේ ජනතාව දේශපාලනය කරනවාට කිසිම කැමැත්තක් නැත. මන්ද එවිට ඔවුන් පාලකයින්ගෙන් ප්‍රශ්ණ ඇසීමට පෙළඹෙන නිසාය. මේ නිසා දිවයින කතෘතුමගේ සිට ලක්බිම පත්තර ලොක්කා දක්වා ශිෂ්‍යයින් දේශපාලනයෙන් ඈත්කරවීමට බළල් අතක් ලෙස පාවිච්චි වෙති. කුමන දුර්වලතා, නොහැකියාවන්, පසුගාමී තත්ත්වයන් තිබුනත් තවදුරටත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ දේශපාලන අනන්‍යතාව පවත්වා ගැනීම ගැන අප අන්තරයට ස්තූතිවන්ත විය යුතුය.
වර්ගවාදයට උඩගෙඩි දුන්නද මේ වන විට අන්තරේ විසින් තමන්ගේ දේශපාලන ක්‍රියාමාර්ග වෙතට දමිළ ශිෂ්‍යයාද එක්කරගැනීමේ උත්සාහය පැසසිය යුතුය. සමාජවාදී ශිෂ්‍ය සංගමය මෙන්ම අන්තරේ ඒ වෙනුවෙන් වූ තමන්ගේ නැමියාව මේ වන විට ප්‍රමාණවත් තරමින් පෙන්වාදී ඇත.
එක්පසෙකින් ශුද්ධ වූ දේශපාලනයක් අදහන්නන් ජවිපෙ අතීත ක්‍රියාකාරකම් දෙස බලා ඔවුන්ගේ සාධනීය එලැඹුම් නොසළකමින් සිටින විට අනෙක්පසින් සමස්ත සමාජයේ පොදු හතුරා අප සමාජයේ සියළු දේශපාලනික එළැඹුම් විනාශකිරීමට උත්සාහ දරමින් සිටී. අපට වඩාත් සමීප එහෙත් යම් වැරදි ඇති පිරිස් හා එක්ව කටයුතු කරමින් අප සැමගේ පොදු සතුරා වෙත සාමූහිකව පහරදීමට අප විවෘතවන්නේ නම් එය වඩාත් කාලෝචිතය.
Sunday, June 13, 2010
කලකට පස්සේ - "ඃලංකා ඉතිහාසයේ තීරණාත්මක කාලපරිච්ඡේදයක්"

පිංතූරය -

දීර්ඝ කාලීන නිහැඬියාවක්......... බ්ලොග්කරණය කියන මාධ්‍යයට ලංකාව වගේ රටක තියෙන අනන්තවත් සීමාකම් තියෙනවනේ, අපේ ජීවිත වලටත් ඒවා බලපානවා. ඒත් මේක දාලා යන්න හිත හදාගන්න බෑ...මාස 03කින් අප්ඩේට් නොකරොත් එහෙන් අයින් කරා, මෙහෙන් අයින් කරා කියන අවදානම හින්දා තමයි මේ සටහන ලියන්නෙත්.
පසුගිය කාලේ මෙන්ම මේ අපි ගෙවමින් ඉන්න කාලසීමාවත් ලංකා ඉතිහාසයේ තීරණාත්මක කාලපරිච්ඡේදයක් වෙයි කියලා ලේඛකයට විශ්වාසයක් තියෙනවා. ඒකට කරුණු කාරණා ගොඩාක් තියෙනවා.
- ඉදිරියේ පැවැත්වෙන ව්‍යවස්ථා සංශෝදනයෙදි එක් පුද්ගලයෙක්ට ජනාධිපතිවරයෙක් වීමට ඇති සීමාකම් ඉවත් කිරීමක් සිදුවේවි.
- මැදමූලන අශිෂ්ඨ ප්‍රසිද්ධ හැසිරීම ලංකාවේ රාජතාන්ත්‍රික පෙනීසිටීම බවට ජාත්‍යන්තරව සංකේතවත් වීම.
- ලංකාවේ පිම්බුන ආර්ථික වර්ධනය නම් බෑලූනයට විසඳුමක් හැටියට ගැනෙන්න පුළුවන් සමාජ ආර්ථික ක්‍රියාවලියක් යෝජනා නොවීම හරහා අතිරික්තයෙන් වන පීඩනය තව තවත් උග්‍රවීම.
- රාජපක්ෂවරු නොවන සියල්ලන්ට ආණ්ඩුවේ අනන්‍යතාවක් හිමි නොවන හෙයින් ඔවුන් තමන්ගේ ගොඩ වැඩිකරගැනීමේ ක්‍රියාදාමයකට අවතීර්ණ වීම.
- උතුරේ ප්‍රශ්ණ "ගසාකෑම" හා බලය යොදවීම වගේ කාරණා හරහා විසඳන්නට හදනාවා මිසෙක, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයකට නොයෑම නිසා තව දුරටත් කුණු වීම...
ඉදිරියේදී අපි මේවා එකින් එක අරගෙන කතා කරමු.
Monday, April 19, 2010
මහා සිංහලේ දේශප්‍රේමී අවුරුදු උළෙල

මහරජාණන්ට තමන්ගේ බලුගැත්තන්ගේ කැමැත්ත බඩ කට පුරවලා හම්බ වුණ ප්‍රීතිය නිමිත්තෙන් අතිදැවැන්ත අවුරුදු උත්සවයක් සංවිධානය කරා. ඒකේ තේමාව හැටියට දේශප්‍රේමීත්වය ඉදිරියට ගත යුතුයි කියලා පංචායුධයා ගිරිය පිම්බූ හින්දා එය දේශප්‍රේමී බක්මහ උළෙලක් ලෙස නම්කරා. දේශප්‍රේමී තරඟ පවත්වන එක බහුජාතික සමාගම් දුන්නොත් ඔවුන් එය ඉතා සාර්ථකව කරයි කියන යෝජනා වුනේ රජතුමාගේ ජේෂ්ඨ අග්‍රපුරෝහිතගෙන්. ඔහු ඒවගේ රස දන්න නිසාත් දේශප්‍රේමීත්වය තව තවත් ව්‍යාප්ත කළ යුතු නිසාත් රජතුමාත් මේකට අකමැත්තක් දැක්වුවේ නැහැ.
මේ අවුරුදු උත්සවයේ මුලින්ම තිබුණේ බයිසිකල් රේස් එක. ආරම්භක ස්ථානයේ ගහලා තිබුණ ලොකු තොරණේ තිබුනේ " සුභ අළුත් අවුරුද්දක් වීවා" කියලයි.
මේක දැකපු රේස් කාරයෙක් ඒ ළඟ හිටපු කොල්ලෙක්ගෙන්
"අරක ප්‍රින්ටින් මිස්ටේක් එකක් නේද මල්ලි ?" කියලා ඇහුවා.
"පිස්සුද අයියා, මේක දේශප්‍රේමී අවුරුදු උත්සවය, අපේ සමාගමය රජතුමා ඒක හොඳම දේශප්‍රේමී විදිහට කරගෙන යන්න ඉඩ දීලා තියෙන්නේ...අපි කියන විදිහටයි ඔයාලා අවුරුදු සුභ පතන්න ඕන, තේරුණාද?"
දේශප්‍රේමී වෙන වෙන දේවල් අහල තිබුණත්, මේ කාරණය නොතේරුණු නිසා තරඟකරුවා සද්ද නැතිව තරඟයට ගියා. කඳු පල්ලම් නොමැති සමතලා භූමියක තිබුණු ආතල් සයිකල් රේස් එකේ පාර වැටිලා තිබුනේ රාජපක්ෂ ජාත්‍යන්තර වරාය, ශිරන්ති රාජපක්ෂ මාවත ඔස්සේ ශ්‍රී මහින්ද රාජපක්ෂ රන්මිණිතැන්න ටෙලිගම්මානය හරහායි. බයිසිකල් තරඟයේ තියුණු අවසානයේ කොළු ගැටයෙක් ජයග්‍රහණය කරන ලදී. ඔහුට තෑගි පිරිනැමීමේදී ලබා දෙන ත්‍යාගයට අමතරව ඔහු විසින් අදාළ අනුග්‍රාහක සමාගම විසින් ලබාදුන් වැකියක් කියවීමට නියමිතව තිබුණි. එනම් "මට මගේ ජයග්‍රහණයට ශක්තියක් වුණේ ...........කිරි උදේ හවා බීපු නිසයි."
මීළඟට තිබුණේ පොල් ගෑමේ තර ඟය. "චිංචි බරස් බරස්" කියලා වාඩිවෙලා හිටපු ගමේ කාන්තාවෝ ටික තරඟෙට පොල් ගානවා. දෙකට නැමිලා හයියෙන් ගාගෙන ගාගෙන ගිය අම්ම කෙනෙක්ට අවසානයේ ප්‍රථමස්ථානය හිමිවුණා. ඇය දිහා බලපු නුගසෙවණ සෙවල නිවේදකයා මෙ ආකාරයේ උද්ධෘතයක් එකතු කළා.
"ලංකාව පුරා ඉන්න දේශප්‍රේමී සිංහල අම්මලා හැමදාම පොල්ගානවා. ඔවුන් අපේ රටට මහත් ආඩම්බරයක්. අපේ ශ්‍රීමත් මහරජාණන්වහන්සේගේ, ජාතියේ පියාගේ කෘතඥබව සියළු අම්මලාට හැමදාමත් හිමිවෙනවා. මේ සියළු අම්මලාට උපහාරයක් ලෙස අපි තීරණය කළා මේ බක්මහ උළෙලේ පොල්ගෑමේ තරඟ ජයග්‍රහණය කළ අම්මලාට ඉතා සුවිශේෂී ත්‍යාගයක් ලබාදෙන්න. අපේ අතිගරු මහරජතුමා මේ සමාගමට කතා කරලා කිව්වා අපේ මේ අම්මට පිහිට වෙන්න කියලා. ඒ අනුව අද පොල් ගෑමේ ජයග්‍රහණය කළ අම්මට හිමිවෙන්නේ............... පහතට නැමී පොල්ගෑම නිසා දිගුකාලිනව ඇතිවිය හැකි ඔස්ටියෝපොරෝසීස් රෝග තත්ත්වයෙන් මිදීම සඳහා ඌරුතෙල් මිශ්‍ර ඇණකිරි පැකට්ටුවක් ලබාදෙන්න "
පිහිණුම් තරඟය මේ මහා බක්මහ උළෙලේ සුවිශේෂී අංගයක් වුණා. මුහුදේ ජීවිතේ රැකගන්න පීනලා කප් ගහලා හිටපු කොල්ලො කෙල්ලෝ රෑනට වීරකැටිය වැවේ පිනන එක කජුකනවා වගේ වුණා. නිවේදකයා නැවතත් නිවේදන කටයුතු ආරම්භ කළා.
"මේ තරඟයට අනුග්‍රහය දක්වන්නේ මහා බ්‍රිතාන්‍යයේ මව් ශාඛාව ඇති ලෝකයේ ශක්තිමත්ම මූල්‍ය සමාගමක් වන බව්වා ඩීබී රක්ෂණ සමාගමයි. වසර තිහක ශාපයෙන් බොහෝ දුෂ්කරතා විඳ, ජීවිතය පරදුවට තබා අපේ රට රැකගත් අපේ මහෝත්තම නරනිඳු තුමාගේ ගමට විශේෂ තෑගි ක්‍රමයක් හඳුන්වා දෙන්නත් බව්වා සමාගම කටයුතු කරලා තියෙනවා කියලා සතුටින් දැනුම් දෙන්න කැමතියි. "
"ඇත්තටම මේ තරඟයට ඔබ ඉදිරිපත්වෙන කොටම මේ සුවිසල් ත්‍යාගයේ කොටසකට ඔබත් අයිතිකාරයෙක් වෙලා ඉවරයි. ඒ කියන්නේ මේ තරඟෙට ඉදිරිපත්වෙලා ඉන්න ඔබ සියළු දෙනාහටම රුපියල් ලක්ෂ 10ක රක්ෂණාවරණයක් තියෙනවා"
"ඉතිං මේ තරඟයට ඉදිරිපත්වන වාසනාවන්ත ඔබට නම් මේ ත්‍යාගය මුදල සම්පුර්ණයෙන් දිනාගන්න ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ තරෙඟෙට ඉදිරිපත්වන තරඟකරුවෙක් වතුරෙ ගිලිලා මැරුණොත් විතරයි මේ සම්පූර්ණ තෑගි මුදල ඔබට ලැබෙන්නේ. එහෙම නැතුව හදිසියේ වතුරෙදි කරදරයක් වෙලා රෝහල් ගත කරොත් රුපියල් ලක්ෂයක මුදලකුත්, දැඩි සත්කාර ඒකකයේ හිටියොත් ලක්ෂ 2ක මුදලකුත් ඔබට හිමිවෙනවා. ප්‍රධානතම තැගි ඔහොම වුනත් වතුර ඉස්මොලේ ගිහිං ගිලෙන්න වගේ ගියොත් රුපියල් 5000ක් දක්වා මුදලක් ඔබට දිනාගන්න පුළුවන්. හැබැයි ඒ වගේ වෙලාවට ඔබට පරීක්ෂා කරලා ලබාදිය යුතු මුදල තීරණය කරන්න වෙනමම වෛද්‍යවරයෙක් මේ සමාගම සූදානම් කරලා තියෙනවා. "
සෙවල නිවේදකයාගේ කතාව එච්චර තේරුණේ නැති කොල්ලො කෙල්ලෝ පිරිස රුපියල් ලක්ෂ 10ක ජයග්‍රාහී මුදල දිනාගැනීමේ අරමුණින් වතුරට පැන්නා.
අවුරුදු උත්සවයේ අන්තිමට තිබුනේ අවුරුදු කුමාරිය තේරීමේ තරඟයයි. මෙය වෙනත් අවුරුදු උළෙලවල් වලට වඩා වෙනස් වූ නිසා අවුරුදු කුමාරියන්ගේ පෙනුම අමුතු වී තිබුණා. ඒ ඒ අවුරුදු කුමරියන්ගේ ඒ ඒ කොටස් හැඩගැන්වීම සඳහා විවිධාකාරයේ අනුග්‍රාහක සමාගම් ඉදිරිපත් විම නිසා ඔවුන් ඒ ඒ සමාගම් වල වෙළඳ දැන්වීම් එල්ලගෙන ඉන්න සිද්ධ වුණා. මේ තරඟෙදි තෑගි බෙදා දුන්නේ අවුරුදු කුමාරිය කොටස් වලට කඩලා.
මුලින්ම දිගම කොණ්ඩය - තෑගි ලබා දුන්නේ ප්‍රකට ෂැම්පු සමාගමක්, තෑග්ග දිනපු අවුරුදු කුමාරියගෙන් නිවේදකයා කොණ්ඩේ ඔච්චර නිරෝගිමත්ව වැඩෙන්න හේතු ඇහුවම පුදුමයකට වගේ ඇය පැවසුමේ තමන්ට තෑග්ග ලබාදුන් සමාගමේ නමයි. ඇය එහෙම ප්‍රකාශ කරලා විනිශ්චය මණ්ඩලයේ හිටපු ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පිණිය දිහා බැලුවම එයා සිහින් සිනාවක් සහිතව ඔළුව වැනුවා.
හොඳම දත් සෙට්එක - දත්වල ඉන්න විෂබීජ මරන්න කියලා ආයුධ අරගත්තු, සුපර්මැන් කිට් එකෙන් ඉන්න කරාටේ ඇක්ෂන් දාපු කොල්ලෝ ටිකක් එකපාරටම වේදිකාවට නැග්ගා. අවුරුදු කුමාරියන්ට කටඅරින්න කියලා උන් ටෝච් ගගහා දත්වල ප්‍රමිතිය හොයන්න පටන්ගත්තා. බලං හිටපු අයට හිනාගියා වුනත් අවුරුදු කුමාරියෝ නම් මූණ පුළුටු කරගෙනයි හිටියේ.
මෙන්න මෙහෙම අවුරුදු කුමාරියන්ගේ හමට, ශරීරයේ හැඩයට වගේම, ඉදිරිපත්කිරීම් වලටත් තෑගි ලබා දීලා අන්තිමට තිබුනේ අවුරුදු කුමාරිය තෝරන්න. ඒ ගැන නිවේදනය කරන්න යනකොට නිවේදකයා වෙතට අයිනකින් තුණ්ඩු කෑල්ලක් ලැබුණා. මේක කියවපු නිවේදකයාගේ මුහුණ එකපාරටම කළුවෙලා ගියත් ඔහු තමන්ගේ රාජකාරිය නිමකරන්න උත්සාහ කළා.
"වීරකැටිය රාජපක්ෂ ක්‍රීඩාංගනයේ අද දවසපුරා පැවති මේ බක්මහ උළෙලේ අවසන් උද්වේගකර තරඟඉසව්වේ ප්‍රතිඵල ලබාදීමටයි මම මේ සුදානම් වන්නේ. ඔබ දන්නවා මේ බක්මහ උළෙලේ අරමුණ දේශප්‍රේමී ලංකාවක, දේශීය සංස්කෘතිය අගයන මිනිසුන් පිරිසක් බිහිකිරීම බව. අළුතින් නිදහස ලැබූ රටක් ලෙස අපට දියුණු රටක් බවට පත්වෙන්න පුළුවන් එහෙම වුනොත් විතරයි. ඉතිං ඒ මහඟු අවවාදය පූර්වාදර්ශයක් කොටගෙන අද මේ උත්සවයට පැමිණි ඉන්න අපේ සම්භාව්‍ය අමුත්තන් මේ අවුරුදු කුමරිය තීරණය කිරීමේදී අළුත් පියවරක් අරගෙන තියෙනවා. "
"අද පැවති අවුරුදු කුමරිය තේරීමේ මේ මහා තරඟයේදී ජයග්‍රහණය ලබන්නේ...............අළුත් කෙනෙක්"
වේදිකාවේ සිටින අවුරුදු කුමරියන් තුෂ්නිම්භූතව බලාසිටී
"ඔව්.........අද මේ මහා බක්මහා උළෙලේ ජයග්‍රාහිකාව බවට පත්කරනු ලබන්නේ මේ වේදිකාවේ සිටින අවුරුදු කුමරියක් නෙවෙයි"
?????
"අපගේ සම්භාව්‍ය අමුත්තන්ගේ විශේෂ යෝජනාවකට අනුව අද දින අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලබන්නේ.........මේ වේදිකාව ඉදිරිපිට සිට සැමියා සමඟින් මේ උත්සවය නරඹමින් සිටින අපේ රටේ, අපේම සහෝදර මුස්ලිම් ජාතික සොහොයුරියයි"
වේදිකාව අසබඩ සිය සැමියාගේ අතේ එල්ලී උත්සවය නරඹන කාන්තාවක් දෙසට කැමරාව එල්ල වේ. ඇය විසින් හිසේ සිට පාදාන්තය දක්වා කළු ලෝගුවක් දවටාගෙන ඇති අතර දෑස් පමණක් විවෘතව ඇත.
"සිංහල අපේ සංස්කෘතියට අනුව ලස්සන තියෙන්නේ පෙන්නන දේ අතර නෙවෙයි, ඒවා සඟවාගෙන ඉන්න කොටයි. අළුත් ශ්‍රී ලංකාවේ ශිෂ්ඨත්වය නිර්මාණය කිරීමට පුර්වාදර්ශයක් වෙමින් අපේ සම්භාව්‍ය අමුත්තන් අවුරුදු කුමරිය ලෙස මෙම මුස්ලිම් තරුණිය තෝරාගෙන තිබෙනවා.........අපි ආරාධනා කරනවා ඇගේ සැමියාට මේ වේදිකාවට ගොඩවී තමන්ගේ තෑග්ග ලබාගන්නා ලෙසට"
වේදිකාවේ කසුකුසුවක් යාන්තමට මෙන් නැඟීගෙන ආවද, වේදිකාවට පැමිණි අයෙක් යම් දෙයක් කණට කර පැවසූවෙන් එතැන් පටන් අවුරුදු කුමාරි තරඟකාරියන් එකිනෙකාට කතා කළේ නැහැ.
අවසානයේ පැවති ත්‍යාග ප්‍රධාන උත්සවය සඳහා ප්‍රධාන අමුත්තන් ලෙස ජනාධිපති ආර්යාව සහ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙකු වන ඔහුගේ පුතා සහභාගී වුනා. ඊට අමතරව ජාතික හා ප්‍රාදේශීය සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය. එහි වූ එකම සුවිශේෂීත්ව වූයේ ඔවුන්ගේ නම් අගට රාජපක්ෂ යන නාමය භාවිතා වීම විතරයි.