
ජීවිතේ තියෙන තරඟකාරිත්වය ගැන කාරුණික වුණු අපේ දානපතීන් දැන් අපිට පත්තර කියවලත් දෙනවා. වෙන කරන්න දෙයක් නැති හින්දා අපිත් ඉතිං ඒක අහගෙන ඉන්නවා. ඒත් ඉතිං ක්ෂණික දේවල විෂ සහිත දේ අන්තර්ගත විය හැකි බවට ආහාර වලින් ගොඩාක් උදාහරණ තියෙනවා. ඒ වගේ දෙයක් තමයි පත්තර කියවලා දෙන " මුල් පිටුව". බන්දුල පද්මකුමාර අපිට පත්තර කියවන ගමන් විෂසහිත දේවළුත් ඇතුල් කරන්න පසුබට වෙන්නේ නැහැ. ඇත්තටම එතුමට ලේක්හවුස් පට්ටම හම්බවෙන්න හේතු තියෙන්නත් ඕනනේ.....
පද්කුමාර හෙවත් මල්කුමාරයා සාමාන්‍යයෙන් මුලින්ම කියවන්නේ අග්නිදිග ආසියාවේ වැඩිපුරම අලෙවිවන පුවත්පත "දිනමිණ". අපි හැමෝමත් බොහෝම ආසාවෙන් අහන්න කැමැති පුවත් තියෙන එකේ උදේ පාන්දරම මල්කුමාරයාගේ මෑණියන් වහන්සේ මතක්වෙනවා මිසක් ඊට වැඩි දෙයක් වෙන්නේ නැහැ.
කොහොමහරි මම කියන්න ආවේ අද උදේ පළවුනු නිව්ස් එකක් ගැන මගේ අදහසක් දක්වන්නයි (මේ නිවුස් එක පත්තරේ තියෙනවා මම දැක්කේ නැහැ.. හැබැයි ඇහුවා)
"දේශපාලන කිරීමට යාපනය විශ්වවිද්‍යාලයට ගිය අන්තරේ (අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය) ට යාපනයේ විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය ප්රමුඛ සිසුන් පහරදී පන්නා දමති. තම විශ්ව විද්‍යාලයට දේශපාලනය අනවශ්‍ය බවත්, විෂ පෙවීමට එන පිරිස් ඔවුන් විසින් පන්නා දමා ඇත" මෙම පුවත බොරුවක් බව
ලංකාටෲත් ඔස්සේ උදුල ප්‍රකාශ කර ඇත.
එක්පසෙකින් මෙය පට්ටපල් බොරුවකි. දකුණේ විශ්වවිද්‍යාල වල පිරිස් දේශපාලනයැයි කියා තමන්ගේ අනෙක් ෆැකල්ටියේ එවුන් සමස්ත ලෝකයේම හතුරා බව සිතමින් ක්‍රියාකරන විට යාපනයේ විශ්වවිද්‍යාල සිසුන් වඩා පුළුල් දේශපාලන පිලිවෙතක් වෙනුවෙන් පෙනීසිටියෝය. ඔවුන් විසින් ඒ වෙනුවෙන් පොලොව මත කැපකිරීම කළහ. එහෙව් එකේ යාපනය විශ්වවිද්‍යාලයට අන්තරේ දේශපාලනය ඉගැන්විය යුතු නැත.
අනෙක්පසින් අන්තරේ ප්‍රහාර එල්ලකිරීමට යාපනයේ විශ්වවිද්‍යාල සිසුන්ට පැහැදිලි අයිතියක් ඇත. වර්ගඝාතක යුද්ධයකට උඩගෙඩි දෙමින් රට අන්තවාදයකට ගෙනයාමට ජවිපෙ සමඟ ඔවුන්ද පෙනී සිටියහ. ඔවුන් අන්තරේට පහරදිය යුත්තේ ඒ හේතුව නිසා මිසෙක "දේශපාලනය " නිසා නොවේ.
ලංකාව හූරාකන ආණ්ඩුවේ බත්බැලයින් ලංකාවේ ජනතාව දේශපාලනය කරනවාට කිසිම කැමැත්තක් නැත. මන්ද එවිට ඔවුන් පාලකයින්ගෙන් ප්‍රශ්ණ ඇසීමට පෙළඹෙන නිසාය. මේ නිසා දිවයින කතෘතුමගේ සිට ලක්බිම පත්තර ලොක්කා දක්වා ශිෂ්‍යයින් දේශපාලනයෙන් ඈත්කරවීමට බළල් අතක් ලෙස පාවිච්චි වෙති. කුමන දුර්වලතා, නොහැකියාවන්, පසුගාමී තත්ත්වයන් තිබුනත් තවදුරටත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ දේශපාලන අනන්‍යතාව පවත්වා ගැනීම ගැන අප අන්තරයට ස්තූතිවන්ත විය යුතුය.
වර්ගවාදයට උඩගෙඩි දුන්නද මේ වන විට අන්තරේ විසින් තමන්ගේ දේශපාලන ක්‍රියාමාර්ග වෙතට දමිළ ශිෂ්‍යයාද එක්කරගැනීමේ උත්සාහය පැසසිය යුතුය. සමාජවාදී ශිෂ්‍ය සංගමය මෙන්ම අන්තරේ ඒ වෙනුවෙන් වූ තමන්ගේ නැමියාව මේ වන විට ප්‍රමාණවත් තරමින් පෙන්වාදී ඇත.
එක්පසෙකින් ශුද්ධ වූ දේශපාලනයක් අදහන්නන් ජවිපෙ අතීත ක්‍රියාකාරකම් දෙස බලා ඔවුන්ගේ සාධනීය එලැඹුම් නොසළකමින් සිටින විට අනෙක්පසින් සමස්ත සමාජයේ පොදු හතුරා අප සමාජයේ සියළු දේශපාලනික එළැඹුම් විනාශකිරීමට උත්සාහ දරමින් සිටී. අපට වඩාත් සමීප එහෙත් යම් වැරදි ඇති පිරිස් හා එක්ව කටයුතු කරමින් අප සැමගේ පොදු සතුරා වෙත සාමූහිකව පහරදීමට අප විවෘතවන්නේ නම් එය වඩාත් කාලෝචිතය.