
පශ්චාත් යුධ ශ්‍රී ලංකාවේ දේශපාලන භාවිතාවේ ප්‍රායෝගික ස්වරූපය එළිදැක්වීමට අවංකව කටයුතු කරමින්, විහාර මහා දේවී උද්‍යානය අසල කණුවක් උඩට වී අතිගෞරවණීය ජනාධිපති උන්නාන්සේ බැහැදැකීමට මාරාන්තික උපවාසයක නිරත වූ ගාල්ලේ රෝහිතට අපගේ ගෞරව පූර්වක ස්තූතිය. ජනාධිපති වන්දනයේ යෙදෙන ලංකාවේ නිදහස් මාධ්‍යයට ජනතාව කඩේ යැවීම සඳහා තවත් පුවත් උල්පතක් මතු කිරීමට පිටුපසින් දිවෙන ප්‍රබල සමාජ, දේශපාලනික පසුබිම මතුකරගැනීම-
-අනාගත ශ්‍රී ලංකාවේ ස්වරූපය තේරුම් ගැනීම සඳහා අතිශයින්ම වැදගත් වනු ඇති බව මේ ලියුම්කරුගේ විශ්වාසයයි. දකුණේ සිංහල බෞද්ධ ජනයා ප්රමුඛ පිරිසගේ අවිඥානයේ ප්රබලතම ස්ථානය අත්පත්කරගැනීමෙන් අනතුරුව වත්මන් ආණ්ඩුවේ ප්‍රධානතම ප්‍රචාරණ අයිකනය බවට පත්වූයේ "රාජපක්ෂ ජනාධිපති"වරයාය. එහි භෞතික තත්ත්වය වඩාත් ඉස්මතු කරමින් ජනපතිවරයා තමන් වටා සුවිසල් බලතල ප්‍රමාණයක් රඳවා ගත් අතර, ඊට අමතරව තමන්ගේ සහෝදරයින්ටද රාජ්‍යයේ අතිවිශාල බලතල හා සම්පත් ප්‍රමාණයක හිමිකාරීත්වය පැවරීය. සැබැවින්ම මෙකී සහෝදරවරුවන් තුලින්ද මහජනතාව වෙත නිරූපණය වූයේ මහින්ද රාජපක්ෂ ප්රතිරූපයමය. චන්ඩිකම් හා ත්‍රස්තවාදය පිළිබඳව වන ප්‍රතිරූපයක් හෝ කපටිකම්, වංචාකම් හා ගේම් කාරයෙක් ලෙස ප්රතිරූපයන් ජනතාව තුළ ඉස්මතු වුවද මහින්ද රාජපක්ෂ නොමැති රාජපක්ෂ පවුලක් හෝ වත්මන් ආණ්ඩුවක අනන්‍යතාවයක් තවමත් බිහිවී නොමැත.
එක් පසෙකින් සංකේතීය ලෙස අනන්‍යතාවය ජනාධිපතිවරයා වටා ගොඩනැගෙන විට අනෙක් පසින් භෞතික තත්ත්වයන්ද, ඊට සමාන්තරව ඔහු වටා (ජනාධිපති හා ඔහුගේ පවුල) ගොඩනැඟෙන විට රටේ පවතින සියළු යාන්ත්‍රණයන් පසෙකලා එක් පුද්ගලයෙකු වෙත සාමාන්‍ය ජන විඥානය ගොණු වීම වළකනු නොහැක. මෙය තව දුරටත් විස්තර කරන්නේ නම් පසුගිය සමයේ පැවති සියළුම මැතිවරණයන් ආණ්ඩු පක්ෂය ජයග්‍රහණය කළේ ජනාධිපතිරයාට ඇති ජන පක්ෂපාතීත්වය නිසාය. මහජනයා ඡන්දය දුන්නේ කුප්‍රකට ප්‍රාදේශීය දේශපාලඥයින් වෙනුවෙන් නොව තමන්ගේ මහා සතුරා පරාජයට පත්කළා යැයි වෙළඳ ප්‍රචාරණය විසින් නොකඩවා දක්වමින් සිටි පුද්ගලයා වෙනුවෙනි.
මේ තත්ත්වයන් රාජපක්ෂ රෙජීමය විසින් (රාජපක්ෂ පවුල හා එහි බුද්ධිමය කොටස් හසුරුවන පිරිස) හොඳින් අවබෝධ කරගෙන තිබිණි. තමන්ව විකුණා තවත් පිරිසකට සැපවිඳීමට ඉඩ නොදුන් රාජපක්ෂවරු සිය ගෝත්‍රික ලක්ෂන ප්‍රකට කරමින් තමන්ගේ විස්තෘත පවුල වටා සියළු සම්පත් ඒකරාශීකරණයෙහි යෙදුණි. ගෝඨාභයගේ සිට චමල් දක්වාද, සජින් වාස්ගේ සිට සුරත් බන්ධු දක්වා වූ ක්‍රියාමාර්ග සිදුවන්නේ මෙනිසාය. ඩලස්ට හෝ මර්වින්ට, විමල් ට හෝ චම්පිකට කිසියම් වරප්රසාදයන් ලැබුණේ යැයි කිවහැකි වුවද, පසුගිය කාලයේ කැබිනට්ටුවේ සිදුවීම් (විමල්ගේ යෝජනා ඉවත්කිරීම) හෝ තරුණ සේවා සභාව සම්බන්ධ සිදුවීම් (නාමල් රාජපක්ෂ ඇඟිලි ගැසීම) වලින් පෙනී යන්නේ, ජීව විද්‍යාත්මක පවුලට අයත් නොවන පිරිසට කටු හැරුණු කොට මස් හම්බවන්නේ සීමාන්තිකව බවය.
සංකල්පීය හා භෞතික තත්ත්වයන් රාජපක්ෂ වටා ගොඩනැඟුණු විට ගාල්ලේ රෝහිත විසින් තමන්ගේ ගැටළුව සඳහා සෘජුවම ජනාධිපතිවරයා මුණගැසීමට ඉල්ලීමක් කිරීම පවතින සමාජ දේශපාලන වටපිටාව අනුව අතිශයින්ම නිවැරැදි ක්‍රියාවකි. රාජපක්ෂ ජනාධිපති වටා පවතින රාජපක්ෂ පවුලේ පරිපාලන යාන්ත්‍රණය තේරුම් ගැනීමට තරම් මුහුකුරා නොගිය ගාල්ලේ රෝහිත, තමන්ගේ මනසට තේරුම්ගත හැකි පරිදි වඩාත්ම නිවරැදි ස්ථානය ආමන්ත්‍රණය කිරීමට උපක්‍රමයක් ලෙස කණුවක් උඩ උපවාස කර ඇත. මෙහි පංචායුධ විසින් එක්සත් ජාතීන් ඉදිරිපිටදී සිදුකළ මාරාන්තික උපවාසය මෙන් උපක්රමිකව අසාර්ථක හෝ බලපෑම් කළ යුතු නිවරැදි ස්ථානය මඟහැරීමක් හෝ සිදුව නොමැත.
රටේ සාමාන්‍ය ජනවිඥානයට අනුව සියල්ල කළ හැකි සර්වබලධාරී ප්‍රජාතාන්ත්‍රක ජනනායකයා ජනාධිපතිවරයාය. ඊට භෞතිකව අභියෝගයක් විය හැකි දා හත්වැනි සංශෝධනය හෝ, විශ්ව මානව හිමිකම් මූලධර්ම, සම්භාව්‍ය ප්රජාතන්ත්රවාදයේ මූලධර්ම තවදුරටත් ලංකාවට වලංගු නොමැත. මේ නිසා රටවැසියාගේ ආකල්පයන් ඉටුකළ හැකි තත්ත්වයක් ජනාධිපතිවරයා සතුව ඇත. ඔහු විසින් දැන් සිදුකළ යුතු වන්නේ තමන් වෙත පැමිණෙන පිරිස් ලබාදෙන ලබන ගැටළු සඳහා සිය විස්තෘත පවුලේ පරිපාලන යාන්ත්‍රණය මඟින් පිළිතුරු සපයා දීම නොවේද?
ගාල්ලේ රෝහිත, ඔබට ජය...! නූතන ආශ්චර්යමත් ශ්‍රී ලංකාවේ පෙරගමන්කරුවා ඔබය.