Wednesday, June 30, 2010

බෑන්කී මූන්ගේ නියෝජිතයින් හා අන්තයන් ද්විත්වය


එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් ලංකාවේ ආණ්ඩුවටම පිදුරු ගහක් සපයා ඇත. එල්ටීටීය බිඳවැටීමෙන් පසු හතුරෙක් හොයාගැනීමේ අපහසුතාවයෙන් පෙළුණු ආන්ඩුව මහත් අපහසුතාවයකට පත්විය. කොටින්ම ආණ්ඩුවට තමන්ගේ මතවාදී හිතවතෙකු වන සරත් ‍ෆොන්සේකාව කෘතීම හතුරෙක් බවට පත්කිරීමට සිදුවිය. ඇත්තටම දෙයක් නොකර ගසා කමින් ජීවිත් වන ආණ්ඩුවට ජනතාව රැවැට්ටීම සඳහා කුමන හෝ උපාය මාර්ගයක් අවශ්‍යය. ඒ සඳහා පොදු හතුරෙකු අනිවාර්යෙන් අවශ්‍යය.

දැන් ආණ්ඩුවට රටේ ඇති සැබෑ ප්‍රශ්න අමතක බෑන් කීන් මූන්ට එරෙහිව නාමිකව, ජනප්‍රියවාදීව කටයුතු කළ හැකිය. ‍රටේ බඩුමිළ, ජිවන තත්ත්වය, විරැකියාව, ආර්ථික අර්බුද සියල්ලට නිදහසට හේතුව ලෙස "බැන්කී මූන්"ව ඉදිරිපත් කළ හැකිය.

මධ්‍යස්ථව ගතහොත් මෙය ඉතා සුවිශේෂී තත්ත්වයකි. එක් පසෙකින් ඒකාධිපති වියරුවක් සහිත පාලකයෙක් සදහටම රට තමන්ට ලියාගැනීමට ‍සැරසෙයි. ඔහුගේ මේ ඒකාධිපතිබාවයට විරුද්ධ විය යුතුය. අනෙක් පසින් තුන්වැනි ලෝකයේ රටක් ලෙස බටහිර රටවල් අපේ රටවල් වලට නාස්ලණුව දැමීමට සැරසෙයි. මෙකී තත්ත්වයන් දෙකම අන්තයන් දෙකකි.

මේ මොහොතේ අපි ඉතා අවධානයෙන් කටයුතු කළ යුතු අතර වඩා නිවරැදි තීරණය ඉතිහාසය විසින් සම්මත කෙරෙනු ඇත. මේ උත්සාහය ඒ වෙනුවෙන් සාධනීය සංවාදයක් ගොඩනැඟීමටයි.

Monday, June 28, 2010

මහාචාර්ය ජගත් වීරසිංහත් රාජපක්ෂ තුරුලටද??


දැන් ලංකාව ශුද්ධ වූ ඒකීය රාජ්‍යයකි. එහි එකම නායකයා පර්සි මහේන්ද්‍ර රාජපක්ෂය. මෙහි පවතින එකම මතවාදය රාජපක්ෂවාදයයි. සුවිශේෂීත්වය නම් මෙකී මතවාදය නියෝජනය කරන්නන්ගේ ඇති විවිධත්වයයි. එක් පසෙකින් මාක්ස්වාදය, ට්‍රොස්කිවාදය, පශ්චාත්නූතන වාදය අදහන පිරිස් සිටියදී ඔවුන්ට සම්පුර්ණයෙන් ප්‍රතිපක්ෂ ජාතීවාදී, වර්ගවාදී, සිංහලනාසිවාදීන් අනෙක් පසින් සන්නද්ධව ඇත. අනෙක් පැත්තෙන් සියළු නළු නිළියන් මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද බොහෝමයක් ඇතුලත්ය.

රාජපක්ෂවාදය එක් පසෙකින් ලංකාවේ සාමාන්‍ය ජනයාගේ ජීවන මට්ටම අපහසුතාවයට ලක්කරන ගමන්ම අනෙක් පසින් රෙජීමයට විරුද්ධ පිරිස් අවශෝෂණය කරගනිමින් සිටියි. යුද්ධයට පක්ෂ වූවන් මුලින් ආකර්ෂණය කරගත් ඔවුහු යුධ විරෝදීන්ද තමන් දෙසට නම්මවා ගනිමින් සිටියි.

මීට ආසන්නතම නැමියාවක් දක්වමින් සිටින්නේ මෙරට ප්‍රකට චිත්‍ර හා මූර්ති ශිල්පියෙකු මෙන්ම පශ්චාත් පුරාවිද්‍යා අධ්‍යයතන ආයතනයේ අධ්‍යක්ෂක මහාචාර්ය ජගත් වීරසිංහය. ඔහු විසින් රාජපක්ෂකරණය වී ඇති බවට සෘජු සාක්ෂි නැතත් පසුගිය දින වල ඔහු විසින් දිගින් දිගටම ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති හා සම්බන්ධ වූ අතර ජනමතය හසුරුවන වැඩසටහන් වලද පෙනී සිටියි.

සාමය වෙනුවෙන් ස්ථාපිත වූ ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන ජාලයේ චිත්‍ර හා මූර්ති ශිල්පය හා සබැඳි ප්‍රබලතම රාජ්‍ය නොවන සංවිධානය හා කලා එකතුව වන තීර්ථ කලා එකමුතුව හරහා සාමය විකිණූ ඔහු යුද්ධය හා ජාතිවාදය, වර්ගවාදය තම ධර්මය කරගත් රාජපක්ෂ හවුලේ සෘජු ප්‍රකාශකයා වන ජාතික රූපවාහිනිය හා සම්බන්ධ වන්නේ කෙසේද යන්න ගැටළුවකි.

කලාව සම්බන්ධයෙන් මහාචාර්ය ජගත් වීරසිංහ හට අභියෝග කිරීමක් මෙහිදී සිදුනොවුනත් ඔහු විසින් ලංකාවේ යුද්ධය භාවිතාවෙන් රැස්කරගත් මුදල් (ලංකාවේ යුද්ධයක් නොතිබුණේ නම් හෝ ඔහු සාමය වෙනුවෙන් පෙනී නොසි‍ටියේ නම් මෙකී මුදල් නොලැබෙන බව අනිවාර්යයකි) වල වත් ගෞරවය නොතබා ලද අවස්ථාවෙන් රාජපක්ෂ හා එක්වන්නේ නම් ජගත් වීරසිංහ යනු කොතරම් දක්ෂ කලා ශිල්පියෙකු වුවද ඔහුගේ මනුෂ්‍යත්වය පිළිබඳව ප්‍රශ්ණාර්ථයක් හටගනී.

ජගත් වීරසිංහ කොතෙක් දුරට රාජපක්ෂ වෙනුවෙන් පෙනීසිටීද යන්න කිව නොහැක. අවශ්‍ය නම් තමන්ගේ පොරටෝක්, න්‍යායාත්මක මතවාද තබාගනිමින් රාජපක්ෂගේ පිට කස කසා සිටි‍මේ තෝරාගැනීමක්ද රාජපක්ෂවාදය තුල ඇති නිසා ඒ හා එක්වීමට එතරම් අපහසු වන්නේ නැත. අභියෝගය නම් කිසිඳු ලාභ ප්‍රයෝජනයක් නොගනිමින් (එන්ජීඕ වලට නොවිකුණමින්) සැබෑ මනුෂ්‍ය වර්ගයාගේ උන්නතිය උදෙසා පෙනීසිටීමට අවශ්‍ය හෘද සාක්ෂිය ආරක්ෂාකර ගැනීමයි.

Tuesday, June 15, 2010

යාපනේදි අන්තරේට පහරදීලා - ඇත්තද???




ජීවිතේ තියෙන තරඟකාරිත්වය ගැන කාරුණික වුණු අපේ දානපතීන් දැන් අපිට පත්තර කියවලත් දෙනවා. වෙන කරන්න දෙයක් නැති හින්දා අපිත් ඉතිං ඒක අහගෙන ඉන්නවා. ඒත් ඉතිං ක්ෂණික දේවල විෂ සහිත දේ අන්තර්ගත විය හැකි බවට ආහාර වලින් ගොඩාක් උදාහරණ තියෙනවා. ඒ වගේ දෙයක් තමයි පත්තර කියවලා දෙන " මුල් පිටුව". බන්දුල පද්මකුමාර අපිට පත්තර කියවන ගමන් විෂසහිත දේවළුත් ඇතුල් කරන්න පසුබට වෙන්නේ නැහැ. ඇත්තටම එතුමට ලේක්හවුස් පට්ටම හම්බවෙන්න ‍හේතු තියෙන්නත් ඕනනේ.....

පද්කුමාර හෙවත් මල්කුමාරයා සාමාන්‍යයෙන් මුලින්ම කියවන්නේ අග්නිදිග ආසියාවේ වැඩිපුරම අලෙවිවන පුවත්පත "දිනමිණ". අපි හැමෝමත් බොහෝම ආසාවෙන් අහන්න කැමැති පුවත් තියෙන එකේ උදේ පාන්දරම මල්කුමාරයාගේ මෑණියන් වහන්සේ මතක්වෙනවා මිසක් ඊට වැඩි දෙයක් වෙන්නේ නැහැ.

කොහොමහරි මම කියන්න ආවේ අද උදේ පළවුනු නිව්ස් එකක් ගැන මගේ අදහසක් දක්වන්නයි (මේ නිවුස් එක පත්තරේ තියෙනවා මම දැක්කේ නැහැ.. හැබැයි ඇහුවා)

"දේශපාලන කිරීමට යාපනය විශ්වවිද්‍යාලයට ගිය අන්තරේ (අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය) ට යාපනයේ විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය ප්‍රමුඛ සිසුන් පහරදී පන්නා දමති. තම විශ්ව විද්‍යාලයට දේශපාලනය අනවශ්‍ය බවත්, විෂ පෙවීමට එන පිරිස් ඔවුන් විසින් පන්නා දමා ඇත" මෙම පුවත බොරුවක් බව ලංකාටෲත් ඔස්සේ උදුල ප්‍රකාශ කර ඇත.

එක්පසෙකින් මෙය පට්ටපල් බොරුවකි. දකුණේ විශ්වවිද්‍යාල වල පිරිස් දේශපාලනයැයි කියා තමන්ගේ අනෙක් ෆැකල්ටියේ එවුන් සමස්ත ලෝකයේම හතුරා බව සිතමින් ක්‍රියාකරන විට යාපනයේ විශ්වවිද්‍යාල සිසුන් වඩා පුළුල් දේශපාලන පිලිවෙතක් වෙනුවෙන් පෙනීසිටියෝය. ඔවුන් විසින් ඒ වෙනුවෙන් පොලොව මත කැපකිරීම කළහ. එහෙව් එකේ යාපනය විශ්වවිද්‍යාලයට අන්තරේ දේශපාලනය ඉගැන්විය යුතු නැත.

අනෙක්පසින් අන්තරේ ප්‍රහාර එල්ලකිරීමට යාපනයේ විශ්වවිද්‍යාල සිසුන්ට පැහැදිලි අයිතියක් ඇත. වර්ගඝාතක යුද්ධයකට උඩගෙඩි දෙමින් රට අන්තවාදයකට ගෙනයාමට ජවිපෙ සමඟ ඔවුන්ද පෙනී සිටියහ. ඔවුන් අන්තරේට පහරදිය යුත්තේ ඒ හේතුව නිසා මිසෙක "දේශපාලනය " නිසා‍ නොවේ.

ලංකා‍ව හූරාකන ආණ්ඩුවේ බත්බැලයින් ලංකාවේ ජනතාව දේශපාලනය කරනවාට කිසිම කැමැත්තක් නැත. මන්ද එවිට ඔවුන් පාලකයින්ගෙන් ප්‍රශ්ණ ඇසීමට පෙළඹෙන නිසාය. මේ නිසා දිවයින කතෘතුමගේ සිට ලක්බිම පත්තර ලොක්කා දක්වා ශිෂ්‍යයින් දේශපාලනයෙන් ඈත්කරවීමට බළල් අතක් ලෙස පාවිච්චි වෙති. කුමන දුර්වලතා, නොහැකියාවන්, පසුගාමී තත්ත්වයන් තිබුනත් තවදුරටත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ දේශපාලන අනන්‍යතාව පවත්වා ගැනීම ගැන අප අන්තරයට ස්තූතිවන්ත විය යුතුය.

වර්ගවාදයට උඩගෙඩි දුන්නද මේ වන විට අන්තරේ විසින් තමන්ගේ දේශපාලන ක්‍රියාමාර්ග වෙතට ‍දමිළ ශිෂ්‍යයාද එක්කරගැනීමේ උත්සාහය පැසසිය යුතුය. සමාජවාදී ශිෂ්‍ය සංගමය මෙන්ම අන්තරේ ඒ වෙනුවෙන් වූ තමන්ගේ නැමියාව මේ වන විට ප්‍රමාණවත් තරමින් පෙන්වාදී ඇත.

එක්පසෙකින් ශුද්ධ වූ දේශපාලනයක් අදහන්නන් ජවිපෙ අතීත ක්‍රියාකාරකම් දෙස බලා ඔවුන්ගේ සාධනීය එලැඹුම් නොසළකමින් සිටින විට අනෙක්පසින් සමස්ත සමාජයේ පොදු හතුරා අප සමාජයේ සියළු දේශපාලනික එළැඹුම් විනාශකිරීමට උත්සාහ දරමින් සිටී. අපට වඩාත් සමීප එහෙත් යම් වැරදි ඇති පිරිස් හා එක්ව කටයුතු කරමින් අප සැමගේ පොදු සතුරා වෙත සාමූහිකව පහරදීමට අප විවෘතවන්නේ නම් එය වඩාත් කාලෝචිතය.

Sunday, June 13, 2010

කලකට පස්සේ - "ඃලංකා ඉතිහාසයේ තීරණාත්මක කාලපරිච්ඡේදයක්"


පිංතූරය - http://www.bbc.co.uk/totp2/features/wallpaper/images/1024/madness.jpg

දීර්ඝ කාලීන නිහැඬියාවක්......... බ්ලොග්කරණය කියන මාධ්‍යයට ලංකාව වගේ රටක තියෙන අනන්තවත් සීමාකම් තියෙනවනේ, අපේ ජීවිත වලටත් ඒවා බලපානවා. ඒත් මේක දාලා යන්න හිත හදාගන්න බෑ...මාස 03කින් අප්ඩේට් නොකරොත් එහෙන් අයින් කරා, මෙහෙන් අයින් කරා කියන අවදානම හින්දා තමයි මේ සටහන ‍ලියන්නෙත්.

පසුගිය කාලේ මෙන්ම මේ අපි ගෙවමින් ඉන්න කාලසීමාවත් ලංකා ඉතිහාසයේ තීරණාත්මක කාලපරිච්ඡේදයක් වෙයි කියලා ලේඛකයට විශ්වාසයක් තියෙනවා. ඒකට කරුණු කාරණා ගොඩාක් තියෙනවා.
  1. ඉදිරියේ පැවැත්වෙන ව්‍යවස්ථා සංශෝදනයෙදි එක් පුද්ගලයෙක්ට ජනාධිපතිවරයෙක් වීමට ඇති සීමාකම් ඉවත් කිරීමක් සිදුවේවි.
  2. මැදමූලන අශිෂ්ඨ ප්‍රසිද්ධ හැසිරීම ලංකාවේ රාජතාන්ත්‍රික පෙනීසිටීම බවට ජාත්‍යන්තරව සංකේතවත් වීම.
  3. ලංකාවේ පිම්බුන ආර්ථික වර්ධනය නම් බෑලූනයට විසඳුමක් හැටියට ගැනෙන්න පුළුවන් සමාජ ආර්ථික ක්‍රියාවලියක් යෝජනා නොවීම හරහා අතිරික්තයෙන් වන පීඩනය තව තවත් උග්‍රවීම.
  4. රාජපක්ෂවරු නොවන සියල්ලන්ට ආණ්ඩුවේ අනන්‍යතාවක් හිමි නොවන හෙයින් ඔවුන් තමන්ගේ ගොඩ වැඩිකරගැනීමේ ක්‍රියාදාමයකට අවතීර්ණ වීම.
  5. උතුරේ ප්‍රශ්ණ "ගසාකෑම" හා බලය යොදවීම වගේ කාරණා හරහා විසඳන්නට හදනාවා මිසෙක, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයකට නොයෑම නිසා තව දුරටත් කුණු වීම...
ප්‍රශ්ණ ව‍ශයෙන් ගත්තොත් ඉතා දීර්ඝ වැලක් තියෙනවා.
ඉදිරියේදී අපි මේවා එකින් එක අරගෙන කතා කරමු.

Monday, April 19, 2010

මහා සිංහලේ දේශප්‍රේමී අවුරුදු උළෙල



මහරජාණන්ට තමන්ගේ බලුගැත්තන්ගේ කැමැත්ත බඩ කට පුරවලා හම්බ වුණ ප්‍රීති‍ය නිමිත්තෙන් අතිදැවැන්ත අවුරුදු උත්සවයක් සංවිධානය කරා. ඒකේ තේමාව හැටියට දේශප්‍රේමීත්වය ඉදිරියට ගත යුතුයි කියලා පංචායුධයා ගිරිය පිම්බූ හින්දා එය දේශප්‍රේමී බක්මහ උළෙලක් ලෙස නම්කරා. දේශප්‍රේමී තරඟ පවත්වන එක බහුජාතික සමාගම් දුන්නොත් ඔවුන් එය ඉතා සාර්ථකව කරයි කියන යෝජනා වුනේ රජතුමාගේ ජේෂ්ඨ අග්‍රපුරෝහිතගෙන්. ඔහු ඒවගේ රස දන්න නිසාත් දේශප්‍රේමීත්වය තව තවත් ව්‍යාප්ත කළ යුතු නිසාත් රජතුමාත් මේකට අකමැත්තක් දැක්වුවේ නැහැ.


මේ අවුරුදු උත්ස‍වයේ මුලින්ම තිබුණේ බයිසිකල් රේස් එක. ආරම්භක ස්ථානයේ ගහලා තිබුණ ලොකු තොරණේ තිබුනේ " සුභ අළුත් අවුරුද්දක් වීවා" කියලයි.


මේක දැකපු රේස් කාරයෙක් ඒ ළඟ හිටපු කොල්ලෙක්ගෙන්

"අරක ප්‍රින්ටින් මිස්ටේක් එකක් නේද මල්ලි ?" කියලා ඇහුවා.


"පිස්සුද අයියා, මේක දේශප්‍රේමී අවුරුදු උත්සව‍ය, අපේ සමාගමය රජතුමා ඒක හොඳම දේශප්‍රේමී විදිහට කරගෙන යන්න ඉඩ දීලා තියෙන්නේ...අපි කියන විදිහටයි ඔයාලා අවුරුදු සුභ පතන්න ඕන, තේරුණාද?"


දේශප්‍රේමී වෙන වෙන දේවල් අහල තිබුණත්, මේ කාරණය නොතේරුණු නිසා ‍තරඟකරුවා සද්ද නැතිව තරඟයට ගියා. කඳු පල්ලම් නොමැති සමතලා භූමියක තිබුණු ආතල් සයිකල් රේස් එකේ පාර වැටිලා තිබුනේ රාජපක්ෂ ජාත්‍යන්තර වරාය, ශිරන්ති රාජපක්ෂ මාවත ඔස්සේ ශ්‍රී මහින්ද රාජපක්ෂ රන්මිණිතැන්න ටෙලිගම්මානය හරහායි. බයිසිකල් තරඟයේ තියුණු අවසානයේ කොළු ගැටයෙක් ජයග්‍රහණය කරන ලදී. ඔහුට තෑගි පිරිනැමීමේදී ලබා දෙන ත්‍යාගයට අමතරව ඔහු විසින් අදාළ අනුග්‍රාහක සමාගම විසින් ලබාදුන් වැකියක් කියවීමට නියමිතව තිබුණි. එනම් "මට මගේ ජයග්‍රහණයට ශක්තියක් වුණේ ...........කිරි උදේ හවා බීපු නිසයි."


මීළඟට තිබුණේ පොල් ගෑමේ තර ඟය. "චිංචි බරස් බරස්" කියලා වාඩිවෙලා හිටපු ගමේ කාන්තාවෝ ටික තර‍ඟෙට පොල් ගානවා. දෙකට නැමිලා හයියෙන් ගාගෙන ගාගෙන ගිය අම්ම කෙනෙක්ට අවසානයේ ප්‍රථමස්ථානය හිමිවුණා. ඇය දිහා බලපු නුගසෙවණ සෙවල නිවේදකයා මෙ ආකාරයේ උද්ධෘතයක් එකතු කළා.


"ලංකාව පුරා ඉන්න දේශප්‍රේමී සිංහල අම්මලා හැමදාම පොල්ගානවා. ඔවුන් අපේ රටට මහත් ආඩම්බරයක්. අපේ ශ්‍රීමත් මහරජාණන්වහන්සේගේ, ජාතියේ පියාගේ ‍කෘතඥබව සියළු අම්මලාට හැමදාමත් හිමිවෙනවා. මේ සියළු අම්මලාට උපහාරයක් ලෙස අපි තීරණය කළා මේ බක්මහ උළෙලේ පොල්ගෑමේ තරඟ ජයග්‍රහණය කළ අම්මලාට ඉතා සුවිශේෂී ත්‍යාගයක් ලබාදෙන්න. අපේ අතිගරු මහරජතුමා මේ සමාගමට කතා කරලා කිව්වා අපේ මේ අම්මට පිහිට වෙන්න කියලා. ඒ අනුව අද පොල් ගෑමේ ජයග්‍රහණය කළ අම්මට හිමිවෙන්නේ............... පහතට නැමී පොල්ගෑම නිසා දිගුකාලිනව ඇතිවිය හැකි ඔස්ටියෝපොරෝසීස් රෝග තත්ත්වයෙන් මිදීම සඳහා ඌරුතෙල් මිශ්‍ර ඇණකිරි පැකට්ටුවක් ලබාදෙන්න "


පිහිණුම් තරඟය මේ මහා බක්මහ උළෙලේ සුවිශේෂී අංගයක් වුණා. මුහුදේ ‍ජීවිතේ රැකගන්න පීනලා කප් ගහලා හිටපු කොල්ලො කෙල්ලෝ රෑනට වීරකැටිය වැවේ පිනන එක කජුකනවා වගේ වුණා. නිවේදකයා නැවතත් නිවේදන කටයුතු ආරම්භ කළා.


"මේ තරඟයට අනුග්‍රහය දක්වන්නේ මහා බ්‍රිතාන්‍යයේ මව් ශාඛාව ඇති ලෝකයේ ශක්තිමත්ම මූල්‍ය සමාගමක් වන බව්වා ඩීබී රක්ෂණ සමාගමයි. වසර තිහක ශාපයෙන් බොහෝ දුෂ්කරතා විඳ, ජීවිතය පරදුවට තබා අපේ රට රැකගත් අපේ මහෝත්තම නරනිඳු තුමාගේ ගමට විශේෂ තෑගි ක්‍රමයක් හඳුන්වා දෙන්නත් බව්වා සමාගම කටයුතු කරලා තියෙනවා කියලා සතුටින් දැනුම් දෙන්න කැමතියි. "


"ඇත්තටම මේ තරඟයට ඔබ ඉදිරිපත්වෙන ‍‍කොටම මේ සුවිසල් ත්‍යාගයේ කොටසකට ඔබත් අයිතිකාරයෙක් වෙලා ඉවරයි. ඒ කියන්නේ මේ තර‍‍ඟෙට ඉදිරිපත්වෙලා ඉන්න ඔබ සියළු දෙනාහටම රුපියල් ලක්ෂ 10ක රක්ෂණාවරණයක් තියෙනවා"


"ඉතිං මේ තරඟයට ඉදිරිපත්වන වාසනාවන්ත ඔබට නම් මේ ත්‍යාගය මුදල සම්පුර්ණයෙන් දිනාගන්න ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ තර‍ෙඟෙට ඉදිරිපත්වන තරඟකරුවෙක් වතුරෙ ගිලිලා මැරුණොත් විතරයි මේ සම්පූර්ණ තෑගි මුදල ඔබට ලැබෙන්නේ. එහෙම නැතුව හදිසියේ වතුරෙදි කරදරයක් වෙලා රෝහල් ගත කරොත් රුපියල් ලක්ෂයක මුදලකුත්, දැඩි සත්කාර ඒකකයේ හිටියොත් ලක්ෂ 2ක මුදලකුත් ඔබට හිමිවෙනවා. ප්‍රධානතම තැගි ඔහොම වුනත් වතුර ඉස්මොලේ ගිහිං ගිලෙන්න වගේ ගියොත් රුපියල් 5000ක් දක්වා මුදලක් ඔබට දිනාගන්න පුළුවන්. හැබැයි ඒ වගේ වෙලාවට ඔබට පරීක්ෂා කරලා ලබාදිය යුතු මුදල තීරණය කරන්න වෙනමම වෛද්‍යවරයෙක් මේ සමාගම සූදානම් කරලා තියෙනවා. "


සෙවල නිවේදකයාගේ කතාව එච්චර තේරුණේ නැති කොල්ලො කෙල්ලෝ පිරිස රුපියල් ලක්ෂ 10ක ජයග්‍රාහී මුදල දිනාගැනීමේ අරමුණින් වතුරට පැන්නා.


අවුරුදු උත්සවයේ අන්තිමට තිබුනේ අවුරුදු කුමාරිය තේරීමේ තරඟයයි. මෙය වෙනත් අවුරුදු ‍උළෙලවල් වලට වඩා වෙනස් වූ නිසා අවුරුදු කුමාරියන්ගේ පෙනුම අමුතු වී තිබුණා. ඒ ඒ අවුරුදු කුමරියන්ගේ ඒ ඒ කොටස් හැඩගැන්වීම සඳහා විවිධාකාරයේ අනුග්‍රාහක සමාගම් ඉදිරිපත් විම නිසා ඔවුන් ඒ ඒ සමාගම් වල වෙළඳ දැන්වීම් එල්ලගෙන ඉන්න සිද්ධ වුණා. මේ තර‍‍ඟෙදි තෑගි බෙදා දුන්නේ අවුරුදු කුමාරිය කොටස් වලට කඩලා.


මුලින්ම දිගම කොණ්ඩය - තෑගි ලබා දුන්නේ ප්‍රකට ෂැම්පු සමාගමක්, තෑග්ග දිනපු අවුරුදු කුමාරියගෙන් නිවේදකයා කොණ්ඩේ ඔච්චර නිරෝගිමත්ව වැඩෙන්න හේතු ඇහුවම පුදුමයකට වගේ ඇය පැවසුමේ තමන්ට තෑග්ග ලබාදුන් සමාගමේ නමයි. ඇය එහෙම ප්‍රකාශ කරලා විනිශ්චය මණ්ඩලයේ හිටපු ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පිණිය දිහා බැලුවම එයා සිහින් සිනාවක් සහිතව ඔළුව වැනුවා.


හොඳම දත්‍ සෙට්එක - දත්වල ඉන්න විෂබීජ මරන්න කියලා ආයුධ අරගත්තු, සුපර්මැන් කිට් එකෙන් ඉන්න කරාටේ ඇක්ෂන් දාපු කොල්ලෝ ටිකක් එකපාරටම වේදිකාවට නැග්ගා. අවුරුදු කුමාරියන්ට කටඅරින්න කියලා උන් ටෝච් ගගහා දත්වල ප්‍රමිතිය හොයන්න පටන්ගත්තා. බලං හිටපු අයට හිනාගියා වුනත් අවුරුදු කුමාරියෝ නම් මූණ පුළුටු කරගෙනයි හිටියේ.

මෙන්න මෙහෙම අවුරුදු කුමාරියන්ගේ හමට, ශරීරයේ හැඩයට වගේම, ඉදිරිපත්කිරීම් වලටත් තෑගි ලබා දීලා අන්තිමට තිබුනේ අවුරුදු කුමාරිය තෝරන්න. ඒ ගැන නිවේදනය කරන්න යනකොට නිවේදකයා වෙතට අයිනකින් තුණ්ඩු කෑල්ලක් ලැබුණා. මේක කියවපු නිවේදකයාගේ මුහුණ එකපාරටම කළුවෙලා ගියත් ඔහු තමන්ගේ රාජකාරිය නිමකරන්න උත්සාහ කළා.


"වීරකැටිය රාජපක්ෂ ක්‍රීඩාංගනයේ අද දවසපුරා පැවති මේ බක්මහ උළෙලේ අවසන් උද්වේගකර තරඟඉසව්වේ ප්‍රතිඵල ලබාදීමටයි මම මේ සුදානම් වන්නේ. ඔබ දන්නවා මේ බක්මහ උළෙලේ අරමුණ දේශප්‍රේමී ලංකාවක, දේශීය සංස්කෘතිය අගයන මිනිසුන් පිරිසක් බිහිකිරීම බව. අළුතින් නිදහස ලැබූ රටක් ලෙස අපට දියුණු රටක් බවට පත්වෙන්න පුළුවන් එහෙම වුනොත් විතරයි. ඉතිං ඒ මහඟු අවවාදය පූර්වාදර්ශයක් කොටගෙන අද මේ උත්සවයට පැමිණි ඉන්න අපේ සම්භාව්‍ය අමුත්තන් මේ අවුරුදු කුමරිය තීරණය කිරීමේදී අළුත් පියවරක් අරගෙන තියෙනවා. "


"අද පැවති අවුරුදු කුමරිය තේරීමේ මේ මහා තර‍ඟයේදී ජයග්‍රහණය ලබන්නේ...............අළුත් කෙනෙක්"

වේදිකාවේ සිටින අවුරුදු කුමරියන් තුෂ්නිම්භූතව බලාසිටී


"ඔව්.........අද මේ මහා බක්මහා ‍උළෙලේ ජයග්‍රාහිකාව බවට පත්කරනු ලබන්නේ මේ වේදිකාවේ සිටින අවුරුදු කුමරියක් නෙවෙයි"


?????


"අපගේ සම්භාව්‍ය අමුත්තන්ගේ විශේෂ යෝජනාවකට අනුව අද දින අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලබන්නේ.........මේ වේදිකාව ඉදිරිපිට සිට සැමියා සමඟින් මේ උත්සවය නරඹමින් සිටින අපේ රටේ, අපේම සහෝදර මුස්ලිම් ජාතික සොහොයුරියයි"


වේදිකාව අසබඩ සිය සැමියාගේ අතේ එල්ලී උත්සවය නරඹන කාන්තාවක් දෙසට කැමරාව එල්ල වේ. ඇය විසින් හිසේ සිට පාදාන්තය දක්වා කළු ලෝගුවක් දවටාගෙන ඇති අතර දෑස් පමණක් විවෘතව ඇත.


"සිංහල අපේ සංස්කෘතියට අනුව ලස්සන තියෙන්නේ පෙන්නන දේ අතර නෙවෙයි, ඒවා සඟවාගෙන ඉන්න කොටයි. අළුත් ශ්‍රී ලංකාවේ ශිෂ්ඨත්වය නිර්මාණය කිරී‍මට පුර්වාදර්ශයක් වෙමින් අපේ සම්භාව්‍ය අමුත්තන් ‍අවුරුදු කුමරිය ලෙස මෙම මුස්ලිම් තරුණිය තෝරාගෙන තිබෙනවා.........අපි ආරාධනා කරනවා ඇගේ සැමියාට මේ වේදිකාවට ගොඩවී තමන්ගේ තෑග්ග ලබාගන්නා ලෙසට"


වේදිකාවේ කසුකුසුවක් යාන්තමට මෙන් නැඟීගෙන ආවද, වේදිකාවට පැමිණි අයෙක් යම් දෙයක් කණට කර පැවසූවෙන් එතැන් පටන් අවුරුදු කුමාරි තරඟකාරියන් එකිනෙකාට කතා කළේ නැහැ.


අවසානයේ පැවති ත්‍යාග ප්‍රධාන උත්සවය සඳහා ප්‍රධාන අමුත්තන් ලෙස ජනාධිපති ආර්යාව සහ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙකු වන ඔහුගේ පුතා සහභාගී වුනා. ඊට අමතරව ජාතික හා ප්‍රාදේශීය සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය. එහි වූ එකම සුවිශේෂීත්ව වූයේ ඔවුන්ගේ නම් අගට රාජපක්ෂ යන නාමය භාවිතා වීම විතරයි.


Thursday, April 15, 2010

දිනපොතක පිටුවක් - ඓතිහාසික ප්‍රාර්ථනයක්......!


මේ තියෙන්නේ ඇත්තටම දිනපොතක පිටුවක්, මේක ගැන කතා කරලා අදහස් බෙදාගත්ත මගේ යාළුවාගේ අවසරයෙන් මම මේක බ්ලොග්සටහනක් බවට පත් කරනවා. සැබැවින්ම එහි ඇති ඉදිරි දැක්මත්, ලංකාවේ මිනිහෙක් ලෙස ඔහුට දැනෙන අවදානම, මේ හිතන දේවල් වීම හෝ නොවීමට වඩා බලවත් බවයි මගේ හැඟීම.

දිනය - 2010.04.09
වෙලාව උදේ 7යි.

අද 2010 මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකු‍ත් වෙන දවස. මම ඉන්නේ ......(පිට පළාතක පිටස්තර ස්ථානයක්). ........(පිටපළාත් ඇමතිවරයෙක්) ලොකු සද්දයක් දාගෙන ගියා. මට හිතෙන්නේ ආණ්ඩුව ලොකුවට දිනලා ඇති. සද්දේ හැටියට නම් තුනෙන් දෙකක්ම අරගෙන.

දිගින් දිගටම ආණ්ඩුව ජනප්‍රිය වෙනවා. ඒත් මට එන්න එන්නම ආණ්ඩුව ගැන තියෙන අප්‍රියත්වය වැඩිවෙනවා. එක‍්කෝ මම මෝඩයෙක්, නැත්තම් රටේ ඉන්න බහුතර මිනිස්සු මෝඩයෝ.

මම ප්‍රාර්ථනා කරන්නේ ඉතිහාසය විසින් මාව මෝඩයෙක් කරන ලෙසයි. මොකද ජර්මනියේ අති බහුතරයකින් හිට්ලර්ට ඡන්දය දුන්න මිනිස්සු ‍ඓතිහාසිකව මහා වරදක් කරපු ගොඩටයි අයිති වුනේ.

මට ලංකාවේ හිට්ලර්ලා බිහිවෙන්න අවශ්‍ය නැහැ. ඒක හින්දා ‍ඓතිහාසිකව මාව මෝඩයෙක් බවට පත්වීම පුද්ගලිකව මට කැළලක් වුනත් ඉන් රටට, ලොකෙට,‍ තෝරාගත් ජාතියකට වන විනාශයක් නොවන හින්දයි. මම නියෝජනය කරන පිරිස ඇත්තටම මුළු රටෙන්ම ඉතාමත්ම සුළු ප්‍රතිශතයක් වෙන්න ඇති.

ඉතිං ඉතිහාසය................නැවත ‍ඓතිහාසිකව හමුවෙමු...


මීට,
...............
09.04.2010

Sunday, March 14, 2010

සරත් ෆොන්සේකා හිරබත් කමින් දුටු අබුද්දස්ස සිහිනය...............




සරත් ෆොන්සේකා එක්වරම ගැස්සී ඇහැරුණේ ඔහු නිදමින් සිටි නාවික හමුදා රැඳවුම් කඳවුර වටේට ඇසෙන දැඩි ඝෝෂාකාරී ශබ්ධය නිසාය. පසුගිය මාසයක කාලයක් තිස්සේ ඉර එළියක් නොදැක සිටි ඔහුට එක්වරම මතක් වූයේ ලසන්ත ඝාතනය හේතුකොට කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැවැත්වූ උද්ඝොෂණයේ ශබ්දයයි. එක්වරටම ඔහුට කෑම ගෙනත් දෙන ආරක්ෂකයා ‍ජනරාල්වරයා ඉදිරිපිට පෙනී සිටියේය.

"සර් මාර වැඩේ නේ වෙලා තියෙන්නේ" තමන් හිටපු හමුදා මාණ්ඩලික ප්රයධානියා වුවද සර් නොකියා ඔයා‍ මෙයා කියා ආමන්ත්රනණය කළ නාවික හමුදා භටයාගේ "සර්" යැයි ආමන්ත්රවණය කිරීම ගැන ජනරාල්ට පුදුම හිතිණ.

"ඇයි මොකද?" මෙතෙක් කලක් නාවික හමුදා පණිවුඩකරුවන්ට එතරම් අවධානයක් යොමුනොකළ ‍ජනරාල් වරයා ඇසුවේය.

"සර්ලා මහ ලොකුවට පාටි දාලා, කිරිබත් කාලා සැමරුවට නන්දිකඩාල් වලදි මරලා තියෙන්නේ ඇත්ත ප්රාභාකරන් නෙවෙයිලු" නාවිකා හමුදා භටයා ඉවසුමක් නැතිව තිබූ පණිවුඩය ජනරාල්ට කීවේය.

"නෑ" ඒකවරම තරහෙන් පුපුරා ගිය ජනරාල් ශබ්දය අවසන් කරන විට සතුටින් ඉපිලී ගොස් සිටියේය. ඒත් ඔහු එක්වරටම නාවික සෙබලා විශ්වාස කළේ නැත.

"පළයන් බං යන්න....දැං උඹල හදන්නේ මං කරපු දේවලුත් නෑ කියල කියන්නද?" ජනරාල් එකවර ලද පුවත නිසා විසිරෙමින් පැවති හැගීම් අතරින් ප්ර කාශ කළේය.

"නෑ සර් ඇත්තමයි!! බොරුනං වෙන කාගෙන් හරි අහන්න, ඇත්ත ප්රනභාකරන් එරිත්රිායාවේ ඉඳලා වීඩියෝ එකකුත් එවලා....දැං දෙමළ මිනිස්සු මාර අප් වෙලා ඉන්නේ...මේ නේවි කෑම්ප් එකත් වට කරලා තියෙන්නේ, දෙමළ මිනිස්සු වගයක්..ඒ මිනිස්සු ඔබතුමාව ඉල්ලනවා"

"නෑ.... ඒක වෙන්න බෑනේ, කරුණත් කිව්වනේ මැරිලා තියෙන්නේ ඇත්ත ප්රවභාකරන් කියලා... ඇයි මේ දෙමළ මිනිස්සු"

"අයියෝ සර්...ඔච්චර අත්දැකීම් තිබිලත් කරුණව විශ්වාස කරනවද? ඕකා දිව හැරුණු හැරුණු අතට කතා කරනවා මිසක්, කවදාකවත් ඇත්තක් කියන්නේ නැනේ"

"හරි හරි........ඒත් ඉතිං මොකද ඔය දෙමළ මිනිස්සු මාව ඉල්ලන්නේ.....උන්ට මාව මරන්න ඕනද?" ජීවිතේ වැඩිම මරණ බියකින් සිටි සමය මේ වූ හෙයින් වචන කටට ගලාගෙන ආවේය.

"අයියෝ පිස්සුද සර්...උන් ඉල්ලන්නේ සර්ව නිදහස් කරන්න කියලා"

පැත්ත කෙසේ වෙතත් දෙමළුන් ගැන හෝ කොටි ගැන තමන්ගේ හිත යට තිබූ වෛරී ගිනිපුපුරු ගැන හොඳින් දැනසිටි ජනරාල් පුදුමයට පත්වූයේ තමන්ගේ ජන්මාන්තර වෛරක්කාරයින් තමන්ව නිදහස් කරගන්නේ ඇයිද යන ගැටළුවෙනි. ලෝකයේ දක්ෂතම හමුදාපතිවරයා යැයිද, ජාතික වීරවරයෙකු ලෙසද හදුන්වා දුන් සිංහලයින් ඉන් මාස කිහිපයකට පසු තමන්ව ජාතිද්රෝමහියෙකු බවට පත්කොට සිරගත කිරීමට තරම් අකෘතඥ වූ කලෙක මේ සිදුවීම කිසිලෙසකින් වත් විශ්වාස කළ නොහැකි විය.

"මං යනවා සර් අරපැත්තට, අරුං එන්න එන්නම දරුණු වෙනවා වගේ...." ක්රඥම ක්රදමයෙන් ඉහළ යමින් තිබූ ඝෝෂාකාරී දිශාව දෙසට නාවික හමුදා භටයා යන්න ගියේය.

හිටපු හමුදාපති වරයා කරකවා අතහැරියාක් මෙන් විය. වසර ගණනාවක් අසහාය නායකයෙකු ලෙස සැලකූ පිරිස් තමන්ව හිරකොට අමානුෂික ලෙස වදදෙමින් සිටින විට තමන් විසින් අනුකම්පා විරහිත ලෙස විනාශ කිරීමට කටයුතු කළ පිරිස් තමන්ව නිදහස් කරගැනීමට උත්සාහ දරමින් සිටිති. තමන් 03 වසරේ සිටියදී අම්බලන්ගොඩ පාසැලේ හාමුදුරුකෙනෙකු විසින් උගන්වන ලද කොසොල් රජතුමා දුටු හීන 07 සිහියට ආවේය. මේ ගතකරන්නේ එවැනිම වූ අබුද්දස්ස යුගයකැයි ඔහුට සිතුනි.

එක්වරම පිටතින් ඇසුනු ඝෝෂා හඬ වැඩිවූ අතර එකී හඬ ක්රගම ක්රීමයෙන් තමන් දෙසට වන්නට වන බව ජනරාල්ට දැණිනි. තමන් ළඟ සිටි කලවැද්දා කො‍හේ ගියේදැයි ඔහු විමසිලිමත් විය. ඔහු සිටි කුටියේ තිබු යකඩ පොළු අතරින් පිටත බැලීමට උත්සාහ කළ විට කොරිඩෝරය අවසානයේ විවෘත කර ඇති දොර දැකගත හැකි විය. ගොඩනැගිල්ලෙන් පිටත හමුදා සෙබළු පමණක් නොව සාමාන්යඇ ජනයාද එහෙ මෙහෙ යනවා දක්නට ලැබුණි.

සරම් හා ෂර්ට් ඇඳගත් පිරිමින් පිටත සිටින බව ජනරාල් දුටුවේය. එක රොත්තට කෑගහස පිරිස තමන් රඳවා සිටින කුටිය දෙසට ඒමට උත්සාහ කරන බවත් ආරක්ෂක භටයින් එය වැළැක්වීමට උත්සාහ කරන බවත් පෙනුනි. එහෙත් උද්ඝෝෂකයින් අතහරින බවක් පෙනෙන්නට නැත. වැටුප් ලබමින් ආරක්ෂාව සපයන ආරක්ෂකයින් ස්වං අභිප්රේතරණයෙන් පෙරට එන පිරිසට පරදින බවකි.

පිරිස අතර සිටි කාල වර්ණ පිරිමින් අව් කාෂ්ඨයට පිලිස්සී තිබුණි. වැරහැලි සාරි ඇඳසිටි ගැහැණුන් දිග රත්තරං කරාබු සහ නාසයට ද කරාබු පැළද සාරි ඇඳ සිටියෝය. සමහරු කුඩා දරුවන් වඩාගෙන සිටි අතර කොට කලිසම් සහ ගවුම් කඩමලු ඇඳසිටි දරුවන්ද අත්වල එල්ලීගෙන සිටියෝය. සිය කුටිය දෙසට ක්රසම ක්ර මයෙන් ඇදෙන මේ පිරිස අතරින් ඔහුට පණ බේරා ගැනීමට මරබියේ කෑ ගසමින් දිවයන මිනිසුන් පොදි මැවී පෙනුනේය. අනුකම්පා විරහිතව වෙඩි තැබීමත්, ෂෙල් පුපුරා යාමෙන් දස දහස් ගණනක් මැරී වැටෙන හැටි ඔහුට සජීවී දර්ශනයක් මැවී පෙනුනි.

ජනරාල් වරයාට සුප්ර්සිද්ධ සුදු කොඩි මතක් වුනි. මිනිහෙක් කෙතරම් ජිවිතයට ආදරය කරයිද ඔහුට හරියටම වැටහුනේ පසුගිය මාසයක කාලයේදීය. තමන් මිනිස්සු යැයි විශ්වාස නොකළ පිරිසේ මනුෂ්යය ලක්ෂන දැණුනු විගස ඔහු ජීවිතේ පළමු වරට මානසිකව සැළුනි.

රාජ ආරක්ෂකයින් පෙරලගෙන ආ මිනිස් කැළ ජනරාල් රඳවාගෙන සිටි හිරකුටියේ යකඩ දඩු හොලවන්නට විය. ඒ අතිවිශාල පීඩනයකි. ජනරාල්ට තමන් සිටි මුළු කුටියම සෙලවෙන සෙයක් දැණුනි. එක්වරම ඇතිවූ දැඩි පීඩනයෙන් හිර කුටියේ කම්බි මහා ශබ්ධයක් නඟමින් කඩා වැටුනේය. ඒ සැණින් ජනරාල් ගැස්සී ඇහැරුණි. ඔහු ඉදිරිපිට තෙහෙට්ටු වූ මුහුණකින් යුතු සිය බිරිඳ විය.

"ඇත්තටම දෙමළු දෙමළුමද ?? " ජනරාල් වරයා ඇසූ ප්රැශ්ණයෙන් බිරිඳ තුෂ්ණිම්භූත විය.